Thursday, March 26, 2015

ත්‍රස්තවාදයට යළි ඉඩ නෑ - බටහිරට ගැති වෙන්නෙත් නෑ - ලෝකයට අපේ රට ගොඩාක් වැදගත්!


රටතුළ කිසිදු ආකාරයේ ත්‍රස්තවාදි ක්‍රියාවකට යළි හිස එසවීමට ඉඩ නොදෙන බවත්, ත්‍රස්තවාදය දැන් ලොව පුරා ක්‍රියාත්මක වන්නේ පෙරමෙන් නොව විවිධ මුහුණුවරකින් බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) මාධ්‍ය  ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී පෙන්වාදුන්නේය.

ත්‍රස්තවාදී සංවිධාන ලොව පුරා ක්‍රියාත්මක වන ස්වරූපය දැන් වෙනස් බවද, ඒ අනූව ඊට මුහුණදිය හැකි පරිදි ආරක්ෂක ක්‍රියාමාර්ග යොදාගත යුතු බවද පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුළ යළි කිසිදු ආකාරයේ ත්‍රස්තවාදි ක්‍රියාවකට ඉඩ නොතබනද බවද අවධාරණය කළේය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජාතීන් අතර සමගිය ගොඩනැඟීම සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රධානත්වය දරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වාර්තාව ගැන ද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළේය.

එහිදී ඔහු කියා සිටියේ අපේ රට සම්බන්ධව අදාළ වාර්තාව ගෙනඒමට මුල් වූ රටවල් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේ වුවද බටහිර රටවලට ගැතිවීමක් හෝ යටත්වීමක් සිදුනොවන බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.

පසුගිය රජය සමයේදී දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැන අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග කිසිසේත් නතර කර නැති බවයි.

සුළු සුළු චෝදනාවලට වඩා මහ පරිමාණ චෝදනාවලට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එය එක දිනකින් කළ හැකි දෙයක් නොවන බවත්, රටේ නීතිය අනූව එය සිදුවන බවත්, එහි ප්‍රතිඵල ඉදිරියේදී බලාගත හැකි බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

වඩාත්ම වැදගත් කාරණය වන්නේ දින 100 වැඩසටහන තුළදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම බවද පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ කැමැත්තට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද කියා සිටියේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනමත විචාරණයකට නොගොස් එය සම්මත කරගැනීමට හැකියාව ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වාදී ඇති බවයි.

එසේම සංශෝධන ඇති නම් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමේ හැකියාව ඇති බවද, ඒ අනූව කටයුතු කිරීමට සුදානම් බවද, 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හැකි බවට තමාට විශ්වාසයක් ඇති බවද ඔහු කියා සිටියේය.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ලැබී ඇති බවයි.

එම වාර්තාව අනූව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහි ඇති කාරණා 18ක් ගැන අවධානය යොමුව ඇති බවත්, ඒ ගැන චීන රජයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඔහු කියා සිටියේය.

අදාළ ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධව චීන රජය අප්‍රසාදයකින් සිටින බව මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ විට ඔහු කියා සිටියේ ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව චීනයට පමණක් ‍මුළු ‍ලෝකයටම ඉතා වැදගත් වී ඇති බවකි.

මේ අතර දකුණු අප්‍රිකාවේ මෙන් සත්‍යවාදී කොමිසමක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා ලබන සඳුදා සිට කොළඹ, කොටුව ආශ්‍රිතව වයිෆයි තාක්ෂණය ඔස්සේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

No comments:

Post a Comment