යාපනයේ වැසියන්ට පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් සිය
විරුද්ධත්වයක් නැතත් තමන්ගේ ගොවිතැන් කටයුතු වලට පවා ප්‍රමාණවත් ජලය නොමැති
වාතාවරණයක ඉරණමඩු ජලාශයෙන් යාපනයට ජලය සැපයීමේ සැලසුමට දැඩි විරෝධය පළ කරන
බව කිලිනොච්චියේ ගොවීහු පවසති.
එය කිලිනොච්චියේ සියලු දෙනා දැඩි අපහසුතාවයකට පත්
කරන්නක් බව කිලිනොච්චිය ගොවි සංවිධානයේ සභාපති එස් මුරුගරාජා බීබීසී
සංදේශයට කියා සිටියේය.එම තීරණයට විරෝධය පළ කිරීම පිණිස කිලිනොච්චියේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඉරිදා කරච්චි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේදී ඉරිදා උපවාසයක නිරත වී සිටි ගොවියන් පවසන්නේ, ගොවිතැන් නොකරන කාලයට තමන්ගේ ගවයන්ට බීමට පවා ජලය නොමැතිවන තත්ත්වයක් උද්ගත වන බවයි.
'විමතියට කරුණක්'
ආසියානු සංවර්ධන බැංකුව පවා ගොවියන්ගේ විරෝධය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව කියා සිටිද්දී මේ වෙනුවෙන් පත්කළ කමිටුව මුදල් තණ්හාව නිසා කෙසේ හෝ එය ඉටුකිරීමට පිඹුරැපත් සකස් කරණ බව උපවාසයේ නිරතව සිටි ගොවි නියෝජිතයෙකු වන එස් සිවමෝහනදාස් සඳහන් කළේය.ආසියානු සංවර්ධන බැංකුව ඉරණමඩු ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20 ක මුදලක් වැයකිරීමට එකඟ වී ඇති අතර ඒ වෙණුවෙන් අදාල ගිවිසුම්පත් අත්සන් කිරීමට පවා කමිටුව කටයුතු කොට ඇත්තේ ගොවි සංවිධානවල හෝ ගොවියන්ගේ කැමැත්තකින් තොරව බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
මෙම යෝජනාව හකුලා ගැනීමට කටයුතු නොකරන්නේ නම් සියලුම ගොවි සංවිධාන එකතුවී අඛණ්ඩ උද්ඝෝෂණයක් දියත් කිරීමට පියවර ගන්නා බවද කිලිනොච්චියේ ගොවියෝ පවසති.
ගොවියන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම පිළිබඳව විමතියට පත්වන වගයි, උද්ඝෝෂණය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරණ ප්‍රාදේශීය අධ්‍යක්ෂක එන් බාලසිංහම් සඳහන් කළේ.
යාපනයේ වැසියන්ට පානීය ජලය ලැබෙන අතරතුර කිලිනොච්චියේ ගොවියන්ට අතිවිශාල ප්‍රතිලාභයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙද්දීත් ඔවුන් ඊට අකමැති වන්නේ නම් ආසියානු සංවර්ධන බැංකුව මෙම වැඩසටහන දියත් නොකිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment