Showing posts with label දේශීය පුවත්. Show all posts
Showing posts with label දේශීය පුවත්. Show all posts

Thursday, January 25, 2018

තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද ගණන් කිරීමට සමගාමීව පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ලබන පෙබරවාරී 09 වැනි දින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද මධ්‍යස්ථානයට යැවෙන නමුත් එකී තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කර ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම සිදු කෙරෙන පෙබරවාරී 10 වැනි දින ප.ව. 4.00න් අවසන් වීමෙන් පසු සිදු කිරීමට නියමිතය.




පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ලබන පෙබරවාරී 09 වැනි දින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද මධ්‍යස්ථානයට යැවෙන නමුත් එකී තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කර ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම සිදු කෙරෙන පෙබරවාරී 10 වැනි දින ප.ව. 4.00න් අවසන් වීමෙන් පසු සිදු කිරීමට නියමිතය.

Friday, January 27, 2017

සමලිංගිකත්වය:-'රාජ්‍යය මැදිහත්විය යුතු නෑ


වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින 'උත්ප්‍රාසය' බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.
"අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව," ඇය සඳහන් කළාය.
නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් 'ප්‍රගතිශීලී' පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය.
සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

විශ්‍රාම ගන්න හිටපු මාව ඇදලා ගත්තේ මෛත්‍රී!

 
 විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සි‍ටියේ අද(27) නුගේගොඩදී පැවති රැළියට එක් වෙමිනි.

ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත්, එයට විරෝධීව නැඟී සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම වර්තමානය වන විට විශාල ණය අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති බවත්, එයට තමන්ට චෝදනා නඟන බවත් ඒ  ඔහු කියා සිටියේය.

තමා ණය ලබා ගත්තේ රට සංවර්ධනය කිරීමට බවත්, එහි ප්‍රතිඵල ජනතාව දැන් භුක්ති විදින බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව විසින් විශාල වශයෙන් ණය ලබා ගත්තද කළ කිසිවක් නොමැති බවයි.

වර්තමානණයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථිකයේ අවපාතය හේතුවෙන් තමන් හිතා මතා මැතිවරණයෙන් පරාජය වූ බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත්, එසේ ඔවුන් දැන සිටියේ නම් ආණ්ඩුව භාර ගත්තේ ඇයිද යන්න ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම රට තුළ ඇති රාජ්‍ය මෙන්ම පෞද්ගලික සම්පත් විකුණමින් රට දිනෙන් දින කාබාසිනියා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

හම්බන්තොට පමණක් නොව කොළඹින්ද අක්කර 8ක ප්‍රදේශයක් විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ.

විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ ආණ්ඩුවට පුළුවන් එච්චරයි

වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නෙමෙයි. හෙළිකොප්ටරත් තියෙනවා. මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සෞඛ්‍යත්වය රැකගන්න ඕනෑ. මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.

මේ රටේ මහා මංකොල්ලයෙන්  පිරිලා. සමහර ආයතන දැන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා ගන්නවාලු. ඒ හොරකම් කළ සල්ලිවලින් ගත්තු දේපොළ අපි බලයට ආවම රාජ සන්තක කරනවා. දූෂණ වැඩිවෙලා කියලා ට්‍රාන්පේරන්සි වාර්තාවේ තිබෙනවා. රට බේරාගත්තු රණවිරුවන් අද මහපාරේ ගුටි කනවා. කොස්කොළ කාපන් කියා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් වැරදි. අද හාල් කියද? මේකටද අපි ඡන්දේ දුන්නේ? මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ තණ කොළ "





Monday, November 28, 2016

නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් -පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි .


නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් ජනතා විරෝධී රැළි මාලාවක් සංවිධානය කරන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම උතුරේ සුළු සිදුවීමක් වුවත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් දකුණේ සුළු සිදුවීමකදී පිරිස් අත්අඩංගුවට ගන්නා බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.

උතුරේ බෞද්ධ වෙහෙර විහාර 270 වඩා ඇති බවත්, ඒ පිළිබඳව විග්නේෂ්වරන් නොදන්නවා විය නොහැකි බවත්, ඒ පිළිබඳව පිරිස් දැනුවත් කර ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසයි.

උතුරේ ඇති වෙහෙර විහාරයන් පිළිබඳව සොයා බලා ඒවා සංරක්ෂණය කර ස්වාමීන් වහන්සේලා නැවත පදිංචි කළ යුතු බවත්,  එසේ නොකළහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැටලීමට කටයුතු කරන බවත්  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි  පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ ආගමික ස්ථානයන් පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දී ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා උතුරේ මහවිරු දිනය සැමරීමට ඉඩ ලබා නොදෙන බවට අභියෝග කළ බවත්, එසේ වුවද උතුරේ මහවිරු දිනය සැමරූ බවත්, ඊට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දිය යුතු බවත් උන්වහන්සේ පවසයි.

මෙවන් වටපිටාවක් තුළ මහවිරු දිනය සැමරූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අක්මීමන සද්ධාතිස්ස හිමි පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම රජයට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමට බවත් උන්වහන්සේ ‍පවසයි.

මහ නායක හිමිවරුන්ගේ මතයට ගරු කරමින් රට ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරිය ගැන පරීක්ෂණයක් ඉල්ලති [ ලංකා ඊ නිව්ස්]


ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි.

මාධ්‍ය මර්දනය

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අය වැය විවාදයේදී වෙබ් මාධ්‍ය පිළිබඳව කළ සඳහන මාධ්‍ය මර්දනය පිණිස පසුබිම සකස් කිරීමේ උත්සාහයක් බව පවසන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, එවන් පසුබිමක් තුළ ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම බරපතල තත්වයක් බව සඳහන් කරයි.

Sunday, October 30, 2016

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි



මහමඟ දමා ගොස් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කිරීමට නීති සකස් කළ යුතු බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන ඇතැම් වැඩිහිටියන්ගේ දේපලවලට ඔවුන් මියගිය පසු ඥාතීන් හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පවසයි.

බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වයේ වැඩි ප්‍රවණතාවක් වාර්තා වන බවට  බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරීන් විසින් සමාජ සේවා අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජ සේවා අමාත්‍යවරුන්ගේ සමුළුවකදී ඔවුන් මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

භාරකරුවන් නොමැතිව මහමඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුව ඔවුන් භාරගැනීමට යම් ඥාතියෙකු ඇත්දැයි මූලික සොයා බැලීමක් සිදුකළ යුතු බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ ඉදිරිපත් නොවන ඥාතීන්ට අදාළ වැඩිහිටියන් මියගිය පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වන පරිදි නීති රීති සකස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.

Thursday, October 13, 2016

රක්ෂිත 2ක් ගිනි ගනියි


ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක ගින්නක් හටගෙන තිබේ.

මහනුවර නගර සභා ගිනි නිවීම් නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්ය.

ගින්නෙන් අක්කර 05ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් සිදුව නොමැත.

මේ අතර මොණරාගල, තෙනගල්ලන්ද කැලෑ ප්‍රදේශයේද ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් අක්කර 04ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලීසිය පැවසුවේය.

Monday, October 10, 2016

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.






කුරුණෑගල, අරලිය උයන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියක අදාළ ත්‍රීරෝද රථය ගැටීමෙන් අද (10) දහවල් මෙම අනතුර සිදුවී ඇති බව වැල්ලව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ සේවය සඳහා සේවකයින් තිදෙනෙකු යොදවා තිබුණ ද වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් කිසිවෙකුත් අද (10) රාජකාරියට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

Saturday, October 8, 2016

එදත් අදත් හෙටත් මහින්ද සමග- ප්‍රසන්න රණතුංග


අලුතින් පක්ෂයක් හදනවාදැයි නැද්දැයි තීරණය වන්නේ ජනතාවගේ තීරණය මත බව පා.ම ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රත්නපුරේ අද පැවැත්වෙන රැළිය අලුතින් පක්ෂයක් හැදීම සඳහා පවත්වන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය.

අපිට පක්ෂයක් හදන්න කියන්නේ ජනතාව බවත්, එසේ වුවද දැන්ම එය සිදුනොකරන බවත්, මැතිවරණයක් ආ සැණින් එම පක්ෂය හදා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත්, හෙතෙම කීවේය.

රණතුංග පවුලේ සාමාජිකයින් එක් එක් පක්ෂ නියෝජනය කිරීම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පැවසුවේ බණ්ඩාරනායක පවුලේ අයද එසේ සිටි බවයි.

අතේ ඇඟිලි 5 එක සමාන නැත්තා සේ තමන් සිටගෙන මහින්ද  සමග බවත්, එදත් අදත් හෙටත් එය එසේම බවත්, ‍ඔහු පැවසීය.

මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ - දෙන ගේම් එක එළියේ තමයි!


"අද මෙයාලා දෙන්නා එක්වෙලා මේ රට දෙකඩ කඩන්න කෑලිවලට කඩන්න හදනවා" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගුරු කරලා එළියේ ගහන්නේ. ඒ නිසා ඒ ගැරන්ටිය අපිට දෙන්න පුළුවන් රෑට ආප්ප කාලා ‍කරන්නේ නෑ " යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රත්නපුරේදී අද පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය අමතමින් කියා සිටියේය.

රණවිරුවන් බේරාදුන් රට බෙදන්න - විනාශ වෙන්න නොදී රැකගත යුතු බව ද බණ්ඩාරනායක මහතා හැදූ පක්ෂය අද අලියාගේ පස්ස පැත්තේ එල්ලා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

සිරිසේන ජනාධිපතිවරයා මේ සෙනඟ දුටුවානම් පවිත්‍රා ඉවත් කිරීම ගැන කනගාටුවනු ඇතැයිද "ඔබට ඕනදේ දෙන්න මම ලෑස්තියි" යැයිද ආණ්ඩු පක්ෂයට ගිය අය වැඩිකල් යාමට කලින් අපේ පැත්තට ඇවිත් ඉඳගන්නා බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන වෙනස් කිරීම එතරම් කජ්ජක් නොවේ යැයිද වැඩිකල් යාමට කලින් එය සිදුවේවී යැයිද හෙතෙම පැවසීය.

"අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" නමින් ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධානය කර තිබිණ.

මහ සංඝරත්නය ඇතුළුව  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රංජිත් සොයිසා, උදය ගම්මන්පිල, පවිත්‍රාවන්නි ආරච්චි, වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිලුම් අමුණුගම, සී.බී රත්නායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ජනරැළියට එක්ව සිටියහ.

එම රැළිය අමතා කතිකයින් ගණනාවක් අදහස් පළ කළ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත පරිදිය.

අසනීප තත්ත්වයෙන් සිටි තමන් පවිත්‍රදේවී මැතිනියගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාත්, රට බේරාගැනීමේ අරමුණ නිසාත්, රත්නපුරට පැමිණි බව එම රැස්වීම ඇමතු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගත යුතු යැයි ද ඔහු සමග එක්වී මේ ආණ්ඩුව පළවා හැරීමට කටයුතු කරමු යැයිද උන්වහන්සේ එහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට යමු යැයි එම රැස්වීම ඇමතු හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

බුද්ධ චීවරය දරාගත් හිමිවරුන් හා රණවිරුවන් අද සිටින්නේ හිරගෙවල් වල යැයි එහිදී ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

රැස්වීම ඇමතු පා.ම ජානක වක්කුඹුර මහතා කියා සිටියේ විග්නේෂ්වරන්ට එක නීතියක් අනෙක් අයට තව නීතියක් ක්‍රියාත්මක වන බවයි.

මේ නිසා මහින්ද සමග නව යුගයක් අරඹමු යැයි එහිදී ඔහු පැවසුවේය.

මෙය සැබවින්ම මෛත්‍රීට එරෙහි විරෝධතා රැළියක් යැයිද එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක හැදූ පක්ෂය අවසන් ගමන් ගෙන යන පිරිසට එරෙහිව මෙම රැළිය හැඳින්විය හැකි බව රැස්වීම ඇමතු පා.ම රංජිත් සොයිසා මහතා කියා සිටියේය.

ජූතක බමුණා ජාලිය - ක්‍රිෂ්ණජිනා දන් දුන්නා සේ ශ්‍රීලනිපය රනිල්ගේ දෙපා මුල තබා  දන්දීමට එරෙහිව මෙම රැළිය පවත්වන බව ඔහු පැවසුවේය.

2001 ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැසූ රනිල් මේ රටේ බලයට පත්වුවහොත් නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවිය හැකි යැයි එදා අපි කියූ බවද විග්නේෂ්වරන්‍ට එරෙහි ක්‍රියාමාර්ගයක් ගැනීමට යහපාලන ආණ්ඩුවට කොන්ද පණ නැති බවද එම රැස්වීම ඇමතු ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

නිල් අලි ටික මහින්ද සමග සංහිඳියාවක් ඇති කර ගැනීමට කැමති නැති බවද අද රටේ ජනතාව ඉල්ලන්නේ මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් පිහිටුවන්න යැයිද ඒ මහතා පැවසීය.

රැළිය ඇමතු පා.ම කුමාර වෙල්ගම මහතා පැවසුවේ "එද මම යූන්පී ආණ්ඩුවට ‍ගියෙත් නෑ. අදත් මම යන්නේ නෑ හෙටත් යන්නේ නැ" යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අපල දැන් හොඳටම හොඳ බවත්, අපේ නායක හාමුදුරුවන් කේන්දරේ බලලා අවසන් බවත්, ඔහු කියා සිටියේය.

නුදුරු අනාගතයේදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ස්වර්ණමය යුගය එන බවත්, ඡන්දයක් තිබුණොත් පරාජය වී ගෙදරයාමට සිදුවන නිසා  මෛත්‍රී - රනිල් තරඟයට ලෝකය බලන්න යන බවත්,  එයා  යනකුට මෙයා එන බවත්, මෙයා යනකුට එයා එන බවත්, ඒ මහතා
පා.ම උදය ගම්මන්පිල මහතා කීවේය.

ජනාධිපති සිරිසේන පසුගියදා අමෙරිකාවේ ගියේ 73ක් අරගෙන බවත්, ඔහු අමෙරිකාවේ සිට එද්දී රනිල් නවසීලන්තයට යන බවත්, රනිල් එද්දී මෛත්‍රී තායිලන්තයේ ගිය බවත්, මෛත්‍රී එද්දී රනිල් බෙල්ජියමේ යාමට සිටින බවත්, හෙතෙම පැවසීය.

රැස්වීම ඇමතු පා.ම වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ ආණ්ඩුවක් බවට පත්කිරීමේ ගමනට අප මුලපුරා සිටින බවයි.

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැරීමේ ගමනට එක්වන්නැයි ද එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බුලත් කොළෙන් ඡන්ද අරන් අලියාගේ වල්ගය එල්ලී සිටින මැති ඇමතිවරුන් බුලත් කොළේ ජනතාවගෙන් පණිවිඩයක් ළඟදීම ලැබෙනු ඇතැයි රැළිය ඇමතු පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මහින්ද ජනපති කාලයේ තිබූ ආර්ථික සංවර්ධනය දැන් කඩා වැටී ඇති බවත්, දේශපාලන ආර්ථික සෑම අතින්ම රට කඩා වැටී ඇති බවත්, ‍හෙතෙම කීවේය.

තමන් සංවිධායක තනතුරින් ඉවත් කළාට "මෛත්‍රී ඔයා මට ක‍ළ අභියෝගයට මම කළේ මේ සුළු සියුම් අභියෝගයක්" යැයි රැළිය ඇමතු පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පැවසුවාය.

ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ හදවත් තුළ ජීවත්වන්නේ ඔබදැයි මහින්දදැයි මෙම ජනතාවගෙන් බලාගත හැකි බවද ඇය පැවසුවාය.

වික්‍රමසිංහ - සිරිසේන - සම්බන්ධන් - විග්නේෂ්වරන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනඑන බවත්, විදේශ ඒජන්තවරු ඊට සහය දෙන බවත්, හූ කියා විසිල් ගසා සිටිය යුතු කාලය මෙය නොවන බවත්, ඊට එරෙහිව කාඩර්වරු ලෙස දිවුරුම්දීමට මෙය අවස්ථාවක් කරගත  යුතු බවත් ඇය කියා සිටියාය.

රැළිය ඇමතු පා.ම විමල් වීරවංශ මහතා පැවසුවේ දේශද්‍රෝහි හවුල පළවා හැරීමට ජනතාවට එක්විය යුතු බවයි.

හිටංට හුටංට අවශ්‍ය පරිදි මේ රට බෙදා වෙන්කිරීමට ඉඩනොදෙන බවත්, සියවස් ගණනාවක් රැකගත් මාතෘ භූමියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත්, ඔහු කියා සිටියේය.

එට්කා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලණියක් වීමට ඉඩනොදිය යුතු බවත්, රනිල් හාමුට විරුද්ධව අනුර මල්ලි කතා නොකරන බවත්, ඔහු පැවසුවේය.

දේශපාලන දඩයම කර මේ සටන නතර කළ නොහැකි බවත්, ජාතියේ නූතන නිදහස් අරගලය මහින්ද රාජපක්ෂ සමග ආරම්භ කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කළේය.

Wednesday, October 5, 2016

scores highest at Scholarship exam 2016 පහේ පළමු තැන මාතරට - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න


පහේ පළමු තැන මාතරට - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු තැන හිමිකර ගැනීමට මාතර මෙතොදිස්ත විදුහලේ එස්. නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව තිබේ.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196කි.

එසේම ලකුණු 195ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ට විද්‍යාලයේ රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවිය සහ වව්නියාව රම්බේකුලම් රජයේ මහා විද්‍යාලයේ කෝකුලතාසන් අභිසිගන් සිසුවා දෙවන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ලකුණු 194 බැගින් ලබාගත් සිසු සිසුවියන් 09 දෙනෙකු තෙවන ස්ථානයට පත්ව ඇත.

කෑගල්ල. දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නදිනි සඳෙස්නා රාජපක්ෂ.

කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ තේජන කෞසිත් විජේකෝන්.

කුරුණෑගල ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ නෙත්මි සුබෝධිනී.

ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේෂ්වර හින්දු විද්‍යාලයේ උදයරාජන් කෝෂිකන්

කුලියාපිටිය. ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි.

හොරණ රාජකීය විද්‍යාලයේ ලිසඳි ඉමෙත්මා හඳපාන්ගොඩ.

කඩුවෙල බෝමිරිය මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේ රෙහාරා බිනෝලි.

යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ උමාශංකර් ජයෙණි යන සිසු සිසුවියන් ද තෙවන ස්ථානයට පත්ව තිබේ.


මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ දිස්ත්‍රීක් පදනම මත කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

ඒ අනූව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල  කඩඉම් ලකුණු 159ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හම්බන්තොට, පුත්තලම, රත්නපුර යන දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 156ක් වන අතර අනුරාධපුර පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්ක තුනෙහි කඩඉම් ලකුණු වන්නේ 154ක් බව සඳහන්ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 153ක් වන අතර හා මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 151කි.

වව්නියාව දිස්ත්‍රික්කයේ  කඩඉම් ලකුණු වන්නේ 142ක් වන අතර එය අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

පහත දැක්වෙන්නේ 2016 අගෝස්තු මස 21දා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රීක්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුය.