Friday, June 6, 2014

මැ‍ලේසියානු ගුවන් යානය අතුරුදන් වූයේ ඇමෙරිකානු - තායිලන්ත යුද අභ්‍යාසයකට මැදි වීමෙන්ද?


2014 වසර තුළ ලොව පුරා සිදු වුණු විශේෂ සිදුවීම් අතර මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූයේ  මැ‍ලේසියානු ගුවන් සමාගමට අයත් එම්.එච්. 370 දරන ගුවන් යානයේ අතුරුදන් වීම පිළිබඳ අබිරහසයි. මේ පිළිබඳ වන කතාබහ මාස තුනක් තිස්සේ තවමත් නිම නොවී පවතී. මෙහි නවතම උත්තේජනය වන්නේ මෙම සිද්ධිය පාදක කොට ගනිමින් කෘතියක් එළිදැක්වීමට කටයුතු කිරීමයි. නයිජල් කතෝන් විසින් රචනා කොට ඇති මෙම කෘතිය “ෆ්ලයිට් එම්.එච්. 370, ද මිස්ටරි” යනුවෙන් නම් කර තිබේ.
“ෆ්ලයිට් එම්.එච්. 370, ද මිස්ටරි” කෘතිය මේ වන විට ලෝකය තුළ විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබේ. ඒ මෙම කෘතිය හරහා ඉදිරිපත් කරන්නා වූ මතය හේතුවෙනි. කතුවර නයිජල් මෙම කෘතියේදී පවසනුයේ එම්. එච්. 370 දරන මලයාසියානු ගුවන් යානය මේ මිහි මත කිසිදු ලකුණක් ඉතුරු නොකොට අතුරුදන් වූයේ අතිශය රහසේ සිදු කරන ලද ඇමෙරිකානු - තායිලන්ත යුද අභ්‍යාසයන්හි ගොදුරක් බවට පත් වීම නිසාවෙන් බවයි.
පසුගිය මාර්තු 08 වැනිදා එම්. එච්. 370 දරන බෝයිං 777 යානය මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බිජිං දක්වා ගමන් කරමින් සිටින අතරතුර කිසිදු සලකුණකින් තොරව අතුරුදන් විය. ඒ වන විට යානයෙහි ගමන් කරමින් සිටි මගීන්ගේ සංඛ්‍යාව 239කි. ඔවුහු ජාතීන් 14කට අයත් වූහ.
මෙම ගුවන් යානය අයත් වූ මැ‍ලේසියානු ගුවන් සේවය ලෝකය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ ගුවන් සමාගමකි. කෙසේ නමුත් මෙම ගුවන් යානයේ අතුරුදන් වීම ඉතිහාසයේ සටහන් වූයේ වචනයේ ‘පරිසමාප්ත අර්ථයෙන්ම අතුරුදන් වීමක්’ ලෙසිනි. ගුවන් යානය අතුරුදන්ව මේ වන විට මාස තුනක කාලයක් ගෙවී ගොස් ඇතත්, ගුවන් යානය හෝ එහි ගමන් ගත් මගීන් පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි.
ලෝක ඉතිහාසය තුළ කිසිදු සලකුණකින් තොරව අතුරුදන් වූ එකම ගුවන් යානය මෙය නොවේ. නමුත් තාක්ෂණික වශයෙන් ලෝකය මෙතරම් දියුණු වී ඇති කාලයක ගුවන් යානයක් අතුරුදන්ව ඒ පිළිබඳ කිසිවක්ම සොයා ගත නොහැකි වීම ලෝකයේ බොහෝ දෙනෙකු සලකනුයේ විශ්වාස කළ නොහැකි දෙයක් ලෙසිනි. ලෝකයේ සියලුම බලගතු රාජ්‍යයන් තම උපරිම ශක්තිය යොදමින් මෙය සොයා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවද ගුවන් යානයෙහි ගමන් කළ මගීන්ගේ, අවම වශයෙන් මළ සිරුරක් හෝ යානයෙහි කිසියම් වූ කැබැල්ලක් හෝ සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මේ නිසාවෙන්ම මෙම අතුරුදන් වීම පිළිබඳ විවිධ අදහස් යානය අතුරුදන් වූ දින සිටම ඉදිරිපත් වෙමින් පවතී. වරෙක මෙම අතුරුදන් වීමට හේතුව යානයේ කපිතාන්වරයා බවට චෝදනා එල්ල වූ අතර එම මතය සනාථ කරන කරුණු ඉදිරිපත්වීම්ද සිදු විය. යානය සඟවා ඇති බවටද, කිසියම් හෝ කණ්ඩායමක් යානය පැහැර ගෙන ඇති බවටද අදහස් ඉදිරිපත් වූ අතර අවසානයේදී මෙහි අබිරහස ඉන්දියානු සාගරයට පැවරුණි. මැ‍ලේසියාවේ සිට චීනය දක්වා ගමන් ගත් යානය ඉන්දියානු සාගර පත්‍ලේ ගිලී ගොස් ඇති බවට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් දත්ත විශ්‍ලේෂණය කරමින් කරුණු ඉදිරිපත් කෙරිණ. මේ සමගම ලෝකයේ බලගතු යානා ඉන්දියානු සාගරය ගවේෂණය
කිරීමට උත්සාහ ගත්තද සොබාදහමේ බාධක හේතුවෙන් ඒ සියලු වෑයම් ඉදිරියට කර ගෙන යාම අපහසු බව පවසමින් අත්හැර දැමීමට කටයුතු කරනු ලැබුයේ කාලයත් සමග මේ පිළිබඳ අවධානය වෙනතට යොමු වීම හේතුවෙනි.
කෙසේ නමුත් නයිජල්ගේ කෘතිය මෙම සෙවීම් කටයුතු වලට අතුල් පහරක් එල්ල කිරීමට හේතු වී තිබේ. ලෝකයේ අවධානය මෙම කෘතිය වෙත වැඩි වශයෙන් යොමු වීමට හේතු වන්නේද සැබෑව යටපත් කරන බවට ලෝකයේ බොහෝ දෙනෙකු තුළ හැඟීමක් ඇති කිරීමට මෙම විමර්ශන කටයුතු හේතු වී ඇති බැවිනි.
“ෆ්ලයිට් එම්.එච්. 370: ද මිස්ටරි” කෘතියේදී නයිජල් සෘජුවම කියා සිටිනුයේ හමුදා මෙහෙයුම්වලදී අත්වැරදීමකින් මෙම ගුවන් යානය බිම හෙළා ඇති බවට සැක කළ හැකි බවයි. මැ‍ලේසියාව සහ චීනය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති ඉන්දියානු සාගරය මේ සඳහා ගාවා ගත්තේද මෙම කරුණු හෙළිවීම වැළැක්වීමේ කූට උපායක් ලෙසින් විය හැකි බවද එම කෘතිය පෙන්වා දෙයි. මෙම මතයට අනුව, මෙම අත්වැරැද්ද වසා ගැනීමට මෙවැනි ව්‍යාජ ඉදිරිපත් කිරීම් කරනු ලැබුයේ සැබෑ කරුණු ලෝකය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවහොත් පළිගැනීමේ සංසිද්ධීන් ක්‍රියාත්මක වනු ඇති බවට මතු වූ බිය හේතුවෙනි.
නයිජල්ගේ මෙම මතයට හේතු වන්නේ නවසීලන්ත තෙල් සේවකයෙකුගේ ප්‍රකාශයකි. ඒ ඔහු ඇසින් දුටු සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහු සේවය කරනු ලැබූ දකුණු චීන වෙරළබඩ තෙල් කැණීම් සිදු කරන කොටසට ඉහළ අහසේ ගිනි බෝලයක් දැවී යනු දැක තිබුණේ මෙම ගුවන් යානය අතුරුදන් වූ දිනය.


කෙසේ නමුත්, ඒ ආකාරයෙන් යුද ප්‍රහාරයකින් මෙම ගුවන් යානය අනතුරට පත් වූයේනම්, යානයේ සුන්බුන්වලට කුමක් සිදු වූයේද යන්න නයිජල්ගේ කෘතියේ ඇතුළත් නොවේ. මෙම ගුවන් යානයේ අතුරුදන්වීමට ඇමෙරිකාව සම්බන්ධ බවට යානය අතුරුදන් වූ කාලයේදීද චෝදනා එල්ල වූ බැවින් නයිජල්ගේ මතය සෘජුවම බැහැර කළ නොහැකි බවටද මත ඉදිරිපත් වෙමින් පවතී. “ඇත්තටම මෙවැනි සිද්ධි සිදු නොවිය හැකි දේවල් ‍නෙවෙයි. යුද අභ්‍යාසවලදී මේ වගේ අත්වැරදීම් සිද්ධ වෙනවා. ඒ වුණත් ලොකර්බි සිද්ධියක් නැවත ඇති වෙනවට කවුරුවත් කැමති වෙන්නෙ නෑ. ඒ නිසා තමයි මේ සිද්ධියට සම්බන්ධ හැමෝම තමන්ගෙ කට පරිස්සම් කර ගන්න උත්සාහ කරන්නෙ.” මේ නයිජල්ගේ අදහස්ය.
යානයේ සුන්බුන් සම්බන්ධයෙන් නොවෙතත්, කළු පෙට්ටිය ගැනනම්
නයිජල් තම කෘතියේ කතා කරන්නේය. ඒ, කළු පෙට්ටිය සොයා ගැනීමේ කටයුතු ඕනෑම යානාවක් අනතුරට පත් වීමෙන් පසුව සිදු කරනා ප්‍රධානතම කාර්යය වන බැවිනි. මෙහිදී කතුවර නයිජල් පවසන්නේ, යානයේ කළු පෙට්ටියම නොවෙතත් කිසියම් වූ කළු පෙට්ටියක් තව ටික දිනකින් ඉන්දියානු සාගරයේ තිබි හමු වූ බවට ඉදිරිපත් කරනු ඇති බවයි. මතෛක් සිදු කළ කූට උපක්‍රමයේ කූටප්ප්‍රාප්තිය වන්නේ එය බවට ඔහු තම කෘතියෙන් පෙන්වා දෙයි.
කෙසේ නමුත්, යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් නම් මෙම කෘතිය පිළිබඳ දක්වනුයේ සුබවාදී ආකල්ප නොවේ. ගුවන් අනතුරින් තම පුතා සහ ‍ලේලිය අහිමි වූ ඕස්ට්‍රේලියානු ජාතික අයිරීන් බරෝස් මාධ්‍ය වෙත කියා සිටියේ, “තාමත් මේ යානයට මොකක්ද වුණේ කියලා හොයා ගන්න බැරි වෙලා තියෙන්නෙ. එහෙම තිබිලත් අපේ හිත් රිද්දන්නම වගේ මෙහෙම ‍පොත් එළිදක්වන එක වැරදියි.” යනුවෙනි.
මෙම අනතුර සිදු වූ කාලයේදීම ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් වූ “ඩීප් වෝටර්” එළිදැක්වීමට නියමිතව තිබුණි. එම චිත්‍රපටයට ඇතුළත් වූයේ ගුවන් යානයක් ගුඹුරු මුහුදට කඩා වැටීමෙන් සිදු වන ව්‍යසනකාරී සිදුවීමක් පිළිබඳවය. කෙසේ නමුත් මෙම සිද්ධිය සමගින් අත්හිටුවන ලද චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු මේ මොහොත දක්වාද ආරම්භ කර නැත. මෙම චිත්‍රපටයේ දර්ශන ගුවන් අනතුරට ගොදුරු වූ ගුවන් මගීන්ගේ ඥාතීන්ට පීඩාකාරී වනු ඇති බවට වූ අදහස චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු වළක්වාලීමට හේතු විය.
කෙසේ නමුත්, මෙම සිද්ධිය පාදක කොට ගනිමින් බිහි වන එකම කෘතිය “ෆ්ලයිට් එම්.එච්. 370: ද මිස්ටරි” නොවේ. තව නොබෝ දිනකින් පෙන්ගුයින් ‍ලේබලය යටතේ තවත් කෘතියක් එළිදැක්වීමට නියමිතය. “ක්‍රෑෂ්ඩ්”  ලෙසින් නම් කර ඇති එම කෘතියේ කතුවරයා වන්නේ 1996 වසරේ අත්ලාන්තික් සාගරයට කඩා වැටුණ ට්‍රාන්ස් වර්ල්ඩ් ගුවන් සේවයේ ෆ්ලයිට් 800හි අනතුර පිළිබඳ “ඩෙඩ්ලි ඩිපාර්චර්” කෘතිය ලියූ ක්‍රිස්ටීන් නෙගේ‍රා්නිය.
කෙසේ නමුත්, ලෝකයේ එතෙක් මතෛක් අතුරුදන් වූ ගුවන් යානා අතර එම්. එච්. 370 සුවිශේෂී වනවාක් මෙන්ම ඒ පිළිබඳ
නිර්මාණයන්ද කිසිදු අයුරකින් නිමා නොවන්නක් වන්නේ අතිශය දියුණු පරිසරයක කිසිදු සලකුණක් නොමැති ගුවන් යානා අනතුරක් ලෙසින් මෙය ඉතිහාසගත වන බැවිනි.

No comments:

Post a Comment