යාල්දේවී යාපනයට පැමිණෙයි - රු. 320ට යාපනයට යන්න පුළුවන්
වසර 24ක් අවෑමෙන් යාල් දේවි දුම්රිය මීට ටික වේලාවකට යාපනය දුම්රිය ස්ථානයට පැමිණියේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ප්‍රභූවරුන් පිරිසට යාපනය දුම්රිය ස්ථානයේදී උණුසුම් පිළිගැනීමක් ද සිදුවිය.
යාල්දේවි දුම්රිය පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය බලා අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලදී.
පලෙයි සිට යාපනය දක්වා මාර්ගයේ ඉදිකර ඇති නව දුම්රිය ස්ථාන දෙකක් වූ නාවට්කුලි හා කොඩිකාමම් දුම්රිය ස්ථානද මේ යටතේ විවෘත වූ අතර එම දුම්රිය ස්ථාන පසු කරමින් ජනපති ඇතුළු පිරිස යාපනයට පැමිණියහ.
උතුරු දකුණු සහෝදරත්වය යළි ගොඩනංවමින් යාල් දේවිය අද උතුරට ගමන් ගත්තේ වසර 24කට පසු වීම විශේෂත්වයකි.
මේ අතර කොළඹ, යාපනය අතර සාමාන්‍ය දුම්රිය සේවා සඳහා ප්‍රධාන දුම්රිය 04 ක් ධාවනයට සැලසුම් කර තිබේ.
සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරන ලද දුම්රිය සහ යාල් දේවි දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට තවත් නගරාන්තර දුම්රියක් සහ රාත්‍රී තැපැල් දුම්රියක් ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
එම දුම්රිය යාපනය සිට කොළඹ කොටුව දක්වා ද දිනපතා ධාවනය කෙරෙනු ඇත.
කොළඹ කොටුව සහ යාපනය අතර සාමාන්‍ය දුම්රිය ගාස්තුව රුපියල් 320කි.
ආසන වෙන්කරන ලද පළමු පන්තියේ ගාස්තුව රුපියල් 900 ක් වන අතර දෙවන පන්තිය සඳහා ගාස්තුව රුපියල් 800ක් වෙයි.
වායු සමීකරණය කරන ලද දුම්රියේ කොළඹ කොටුව සහ යාපනය අතර මගී ගමන් ගාස්තුව රුපියල් 1500 ක් බව දුම්රිය වාණිජ අධිකාරි ඩබ්ලිව්.එස් සිසිර කුමාර මහතා සඳහන් කළේය.
එසේම ඉදිරි දිනවලදී මාතර සිට යාපනය දක්වා සෑම සෙනසුරාදා දිනකදීම දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර සෑම ඉරිදා දිනකම යාපනය සිට මාතර දක්වා නගරාන්තර දුම්රියක් ධාවනයට සැලසුම් කර තිබේ.

No comments:
Post a Comment