Monday, March 23, 2015

ජනපති මෛත්‍රී -පොරොන්දු කඩලා


නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම හරහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ පොරොන්දු කඩ කර ඇති බවට මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන් චෝදනා කරති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන පරිදි කැබිනට් ඇමති මණ්ඩලය සීමා කරන බවට ලබා දුන් පොරොන්දුව අද වන විට කඩ වී ඇති බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් පවසන්නේ.
‘ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා කැබිනට් මණ්ඩලය සීමා කරනවා කියලා. අනිත් දේ තමයි පසුගිය ආණ්ඩුවට පුළුවන් තරම් වෙනස් වෙන විදිහකට වියදම් අඩු කරලා ආණ්ඩුවක් ගෙන යනවා කියලා. ඒකට මේක පටහැණියි’ ඇය කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ හා සාකච්ඡාවකට එක් වෙමින්.
දූෂණ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ද අලුතින් පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු අතර සිටින බවත් ඇය සඳහන් කළාය.
‘දැන් ඔය අලුතින් ගත්ත විසිහය දෙනා, සමහරක් අයට එරෙහිව දූෂණ වංචා චෝදනා තියනවා. එක යහපාලනය එක්ක මේ ප්‍රතිපත්තිය ගැටෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ වංචාවට එරෙහි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න නම් එතකොට එතනත් පැටලිල්ලක් තියනවා’ මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් පැවසුවාය.

'ලොකු පැටලිල්ලක්'

මේ අනුව වංචා දූෂණ චෝදනා ලැබ සිටින නව අමාත්‍යවරුන්ට එරෙහිව පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේදී තවදුරටත් කටයුතු කරනු ඇත්දැයි යන්න සැක සහිත බවයි ඇය පේනවා දෙන්නේ.
'ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා කැබිනට් මණ්ඩලය සීමා කරනවා කියලා. අනිත් දේ තමයි පසුගිය ආණ්ඩුවට පුළුවන් තරම් වෙනස් වෙන විදිහකට වියදම් අඩු කරලා ආණ්ඩුවක් ගෙන යනවා කියලා'
ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේදී සුදුස්සන් පමණක් ඒ සඳහා තෝරා ගත යුතුයි යන්න ජනතා මතය බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් මාධ්‍යවේදිනිය සඳහන් කළේ.
‘ජාතික ආණ්ඩුවක් කියලා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ සහ යුඇන්පීයේ ඉන්න මහජනයා ප්‍රතික්ෂේප කරලා තියන දේශපාලනඥයන්ව ගන්න එක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි’ ඇය කියා සිටියාය.
ආණ්ඩුවට එක් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන්නේ කෙසේදැයි යන්න මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් ප්‍රශ්න කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම ආණ්ඩුවේ සිටින මෙවන් අවස්ථාවකදී ප්‍රධාන විපක්ෂය බවට පත් වන්නේ දෙමළ ජාතික සන්ධානය නොවේදැයි යන්න විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ එසේ නොවීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් සිදු වන බවයි.
‘එකම පක්ෂයේ කට්ටියක් විපක්ෂයේයි ආණ්ඩුවෙයි දෙකේම ක්‍රියාත්මක වෙනවා නම් එතකොට පාර්ලිමේන්තුව ඇතුළේ තියන ප්‍රජාතන්ත්‍රවාදයට නිෂේධනීය ආකාරයකට බලපෑමක් සිදු වෙනවා’ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් වැඩිදුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment