Monday, March 31, 2014

. "තිමිරගිර" ටෙලි නාට්‍යයේ භාග්‍යාගේ චරිතයට පණ පොවන ඇය-ටනාෂා

ඔබ දෙරණ නාලිකාවේ විකාශය වන තිමිරගිර ටෙලි නාට්‍යය නරඹනවානම් ඇය  ගැන මේ වන විට නොදන්නා කොනෙක් නෑ. "තිමිරගිර" ටෙලි නාට්‍යයේ භාග්‍යාගේ චරිතයට පණ පොවන ඇය නමින් ටනාෂා හතරසිංහ. මේ වන විට ලංකාවේ ඇය ජනප්‍රිය චරිතයක් වී හමාරයි. අද ආලින්දය හැඩගන්වන්නේ ඇයයි.


ඉතින් ටනාෂා කොහොමද?


මේ දවස්වල "තිමිරගිර" ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙනවා. ඊට අමතරව දෙරණ නාලිකාවේම විකාශය වන "පට්ට පට පට" වැඩ සටහනත් එක්කත් එකතුවෙලා ඉන්නවා.



* ටනාෂා  රංගනයට දායක වෙන්නේ ආරාධනයකට අනුවයි. ඇත්තටම කොහොමද රංගනයට පිවිසෙන්නේ ?

මම දෙරණ රූ රැජින තරඟයට පැමිණියා. එකෙන් දෙවැනි ස්ථානය මම ගත්තා. ඊය පස්සේ දෙරණ නාලිකාවෙන්ම තමයි මට කතා කරලා කිව්වේ ටෙලි නාට්‍යයක් තියනවා කැමතිද රඟපාන්න කියලා. ඊට කලිනුත් මට ගොඩාක් ආරාධනා ලැබිලා තිබුණා ටෙලි නාට්‍යය වලට. නමුත් දෙරණින් දීපු මේ තිර පිටපත දැක්කම ආස හිතුනා එකේ තියෙන චරිතය ගැන. ඒකත් එක්ක මම රංගනයට ප්‍රවිෂ්ඨ වුණා.

* ඉදිරියේදී තවත් තිර පිටපත් ලැබුණොත් බාරගන්නවාද? එසේත් නොමැතිනම් දැනට කරගෙන ඉන්න ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු විතරද කරන්න හිතාගෙන ඉන්නේ?


දැනට අලුත් තිර පිටපත් බාර ගැනීමේ අදහස් නෑ. ඉස්සල්ලාම දැනට කරන දේට පුළුවන් තරම් කාලය දෙන්න තමයි අදහස. මොකද මං තාම ‍රංගනය කියන දේ හදාරනවා. "තිමිරගිර" ටෙලි නාට්‍යයෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉස්සල්ලාම මේ ටෙලි නාට්‍යයට මුල් තැන දෙන්න තමයි බලාපොරොත්තුව.



* ලැබුණු පලවෙනි ආරධනාවට ඔබට මොකද හිතුණේ?
ගොඩාක් සතුටු හිතුණා. මොකද එකේ තිබ්බ චරිතයක්, පොඩි කාලේ ඉඳළාම "සරා" ටෙලි නාට්‍යය විකාශය වෙනකොටත් මං ගොඩාක් ආසාවෙන් බලපු නාට්‍යයක්. සමාජයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන, සමාජ විෂමතා ගැන කතා කරන ඒ වගේ චරිතයක් නේ. ඉතින් මං ආස වුණා ඒ වගේ චරිතයක් හම්බ වුණාම.

* මේ දේවලුත් එක්කම ටනාෂා කියන්නේ, සමාජයත් එක්ක නිරන්තරයෙන් ඝට්ටණය වන, රටේ ප්‍රශ්න ගැන කෙලින් කතා කරන කෙනෙක්ද? එසේ නොමැතිනම් නාට්‍යයට විතරක් සීමා වුණ චරිතයක්ද?

එහෙම කරන්න ආසයි. ඒත් මට තාම එච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. තව මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ දේවල් කරන්න නම්.



* ස්ථාවරත්වයක් හදාගෙන දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවද? නැත්නම් වෙනත් වෘතියකට යන්න අදහසක් තියෙනවද?

දැනට මම උසස් පෙළ ඉවර වුණා විතරයි. මං උසස් අධ්‍යාපනයත් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව මං රංගන ක්ෂේත්‍රයේ ඉහළටම යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

* ජීවිතයේ යම් කිසි පිටිවහලක් ලබා ගන්න පරමාදර්ශී චරිතයක් තියෙනවාද?

මං රංගනයේ යෙදෙන්න ආස ඒක වයසට ගියාහමත් කරන්න පුළුවන්කමක් තියෙනන නිසයි. මාලනී ෆොන්සේකා මහත්මිය රංගන ශිල්පිණියක් විදියට තවමත් රඟපානවා. මං ඒකට ගොඩාක් ආසයි. ඉතින් මාලනි ෆොන්සේකා මහත්මියගේ චරිතය දිහා බැලුවාම එතුමිය කරපු සේවය. ඒ කියන්නේ කාන්තාවක් විදියට කරන සේවය ගැන මං ගොඩාක් සතුටු වෙනවා. ඒක නිසා මම ආදර්ශයට ගන්න චරිතය ඇයයි.

* ක්ෂේත්‍රය තුළ ඇතිවන කටකතා තියනවානේ. මේ කටකතා තුළින් ජිවිතයට මුහුණ දෙන්න පුළුවන් කමත් තියෙනවාද?

මම ඉස්සල්ලාම මේ ක්ෂේත්‍රයට එන්න කලින් මගේ අම්මාත් ඉස්සල්ලාම කිව්වේ. ඔයා මේ ක්ෂේත්‍රයට එනවානම් අනිවාර්යෙන් හිත හයිය කර ගන්න වෙනාව. ඔයා ඒ දේවල් වලට සැලෙන්නේ නැතුව ඉන්න ඕන ඒක මගේ යහළුවන් පවා කියලා තියෙනවා.  මං ඒ දේවල් වලට මුහුණ දීලා ඉදිරියට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා මං හිතනවා.




* තාම ක්ෂේත්‍රයට ආධුනිකයි‍. නමුත් මේ අාධුනික ගමන තුළ දැනට  ගොඩාක් අය ගොඩාක් දේවල් හරි. එහෙම නැත්තනම් ටිකක් අය ටිකක් දේවල් හරි කියලා ඇති. ඒ කියපු දේවල් වලින් හිත සැළිලා ඇති. කොහොම වුණත් දැනට ඇති වෙලා තියෙන කටකතාවක් හරි හිතෙ සැලෙන දෙයක් හරි සිදුවෙලා තියෙනවාද?


එහෙම තවම කටකතාවක් හැදිලා නෑ.

* ඔබ මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක් නියැලිලා තියෙන්වා. රූප රචනා වලින්, වෙළඳ දැන්වීම් වලින් ඒ වගේම නිවේදනයේ සහ ටෙලි නාට්‍යය රංගනයෙන්. ඒ අතරින් වඩාත්ම කැමති මොකටද?


රංගනයට කැමතියි. ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. සෙට් එකට ගියාට පස්සේ යාළුවෝ වගේ ඉන්නේ. ඒ දේටත් මං කැමතියි.



* ගොඩාක් අය කියනවා ටනාෂා රූප රචනා වලට ඉන්න කැමතියි කියලා. ඒ ගැන මොකද කියන්නේ.

එහෙම එකක් නෑ. කවුරුහරි කිව්වෝත් අක්කේ අපේ මියුසික් වීඩියෝ එකක් තියෙනවා එන්න පුළුවන්ද කියලා ,  ඉස්සල්ලාම බලනවා ඒ සිංදුව මං කැමතියි එකක්ද කියලා. ඒ සිංදුවට මං කැමතියි නම් අනිවාර්යෙන් ඒ සිංදුව කරනවා මං. මං කරන්නේ මං ආස විදියේ සිංදුවක් නම් විතරයි. නැත්නම් විශේෂයෙන් එහෙම රූප රචනා වලට යන්නේ නෑ.  මං ජනප්‍රියතාවය බලාගෙන රූප රචනා වලට යන කෙනෙක් නෙවෙයි.

*  කලා ක්ෂේත්‍රය තුළ අමතක නොවන සිදුවීම මොකක්ද?

"තිමිරගිර" ටෙලි නාට්‍යයේ රූගතකිරීම් සිදුකරගෙන යද්දී. පාසලක රූගත කිරීම් සිදුකළා. ඉතින් ඒ වෙලාවේ පාසලේ හිටපු ළමයෙක් කියපු කතාවක් තියනවා. ඒ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ. නමුත් ඒක කියන්න බෑ.



* රංගනයට සහභාගී වෙද්දි තෝරා බේරා ගැනීමක් සිදුකරනවාද?

අනිවාර්යෙන්ම තෝරා බේරාගෙන තමයි රංගනයෙන් දායක වෙන්නේ.

*‍ මොකක්ද ඒකට තියන නිර්නායක සහ සීමාවන්?

මං හැමවෙලේම බලනවා මොනවාගේ චරිතයක්ද තියෙන්නේ කියලා.  ඒ අනුව සීමාව තුළ ඉඳගෙන ඒ චරිතයට  සාධාරණයක් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මං ඒ චරිතය කරනවා.

*  ක්ෂේත්‍රය තුළ නියැලිලා ඉන්න විට  විවිධ වු යෝජනා‍ ඇතැමි රංගන ශිල්පිණියන්ට   එනවානේ . මේ පිළිබඳව  ඔබ දරන්නේ මොනවාගේ අදහසක්ද?




ඒ පිළිබඳව නම් මගේ පැහැදීමක් නෑ‍. මටනම් තාම ඒ වගේ යෝජනාවක් ඇවිල්ලත් නෑ. මං අම්මත් එක්ක යන්නේ. කවුරුත් ඒ වගේ යෝජනාවක් ගෙනෙයි කියලා මං හිතන්නේ නෑ.


*  ප්‍රවිණයන්ගෙන් ලැබෙන සහයෝගය මේන වගේද?


"තිමිරගිර" නාට්‍යයේම හිටපු සුනිතා විමලවීර, ඩබ්ලිව්. ඒ. ජයසිරි,  තිස්ස අත්තනායක වැනි පිරිස් මට රූපගත කිරීම් අතරවාරයේ පවා කියලා දෙනවා. ගොඩාක් උපදෙස් දෙන අය ඉන්නවා. ඒ අයට මං ගොඩාක් ගරු කරනවා. ප්‍රවීණයන් වශයෙන් මට දුන්න උපදෙස් වලට.

* කලාකරුවන් දේශපාලනයට පැමිණීම ගැන ඔබේ අදහස?

තමන්ට හිතෙනවානම් තමන්ට මේ රටට සේවයක් කරන්න පුළුවන් කියලා සහ තමන් ඒ ගැන හරියට ඉගෙන ගෙන තියනවානම් ඒක කරාට වැරැද්දක් නෑ. හැබැයි බොරුවට තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න මිනිස්සුන්ට සේවය කරනවා කියලා දේශපාලනයට පිවිසීම  මං පිළිගන්නේ නෑ.



* දැනට‍ දේශපාලනයට පිවිසිලා ඉන්න ‍කලාකරුවන් ගැන ඔබ මොනවාගේ අදහසක්ද තියෙන්නේ?

මෙහෙමයි දේශපාලනය ගැන දැනට මගේ ලොකු දැනීමක් නෑ‍.  මට මේ අවුරුද්දේ තමයි ඇත්තටම ඡන්දේ හම්බවෙන්නෙත්. මට තේරෙන්නේ තමන්ට මොකක් හරි සේවයක් කරන්න පුළුවන්නම් දේශපාලනයට පිවිසුනාට ප්‍රශ්නයක් නෑ.

* ජනප්‍රිය වෙන්න බලපාන්නේ වාසනාවද? දක්ෂතාවයද?

 මං හිතනවා වාසනාව අනිවාර්යෙන් තියෙන්න ඕන. දක්ෂතාවයත් තියෙන්න ඕන.

*  ටනාෂා රංගනයට එන්නේ මුදල් හම්බකර ගැනීමේ බලාපොරොත්තුවෙන්ද එහෙමත් නැතිනම් ඉන් එහා ගිය දෙයකටද?

පොඩි කාලයේ ඉඳළා ආසාවක් තිබුණා. රූපවාහිනීය බලද්දි මාත් ආස වුණා රංගන ශිල්පිණියක් වෙන්න. ඒකත් එක්ක තමයි මේ ක්ෂේත්‍රයට අවේ. විශේෂයෙන් මුදල් ගැනවත්, ජනප්‍රියතාවය ගැනවත් බලා නෙවෙයි මං ආවේ.   ඇත්තටම මං ආසයි මං දෙයක් කරලා මං ඒක දිහා බලන් ඉන්න. ඒක හින්දා තමයි මේ ක්ෂේත්‍රයට වැඩියෙන්ම යොමු වුණේ.




* ආදරය ගැන මොකද හිතෙන්නේ?


ආදරය මට දැනට අම්මාගෙන්, තාත්තාගෙන්, නංගීලාගෙන් ලැබෙනවා.  මට ලැබෙන්න ඕන ඉහළම ආදරය ලැබෙනවා.

* මොන වගේ කෙනෙක්ද අනාගත සහකරුවා විදිහට තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ හීනයක් බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?

මගේ අම්මලා තාත්තලාට ආදරය කරන‍. මගේ නංගිලාට ආදරය කරන. මාව තේරුම් ගන්න පුළුවන්. මං ඉන්න විදියට ආදරය කරන. මං කැමතියි නෑ කවදාවත් මට නීති දානවාට‍.  මාව තේරුම්ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවානම්, මගේ සහකාරයා එයා.

* අනාගතයේදී ව්‍යාපාරිකයෙක් ඔබගේ සහකරුවා වෙයිද?


මං ඒ ගැන හිතලා නෑ. කොහොමත් මුදලටනම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මොකද මං අම්මට වුණත් කියනනේ අම්මේ මං කාටහරි කැමති වුණොත් මං හරි එයාව බලාගන්නවා. මං එයාව බඳිනවා කියලා‍.



* ඔබගේ පවුගේ විස්තර මොනවාද?

මගේ පවුගේ අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනායි ඉන්නවා.

* මේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ඔබට?

ගොඩක්ම සහයෝගය ලැබෙන්නේ මගේ අම්මාගෙන්. ඒ ඇරුණාම නංගිලා මට ගොඩක් උදව් කරනවා. රූගත කිරීමකට යනවිටත් එයාලා මට ඇඳුම් හොයලා දෙනවා. ඒ හැම දෙයක්ම කරනවා.  සමහරක් විට රඟපාපු දේවල් විකාශය වෙනවිටත් කියනවා. අයියෝ ඔයා ඔතන කැතයි. මෙනවාද මේ කියලා තියෙන්නේ. මේ රඟපා‍නවද. හරියට තේරෙන්නේ නැද්ද කියලා ගොඩාක් දේවල් කියනවා. හැදෙන්න ඕන තැන් හදාගන්න ඕන තැන් වගේ ගොඩාක් දේවල් එයාලා මට කියනවා. ඉතින් එයාලගෙන් මට ගොඩාක් ලොකු සහයෝගයක් ලැබෙනවා.


* ගෙදර වැඩ කටයුතු වලට එහෙම සහයෝගය දෙනවාද ටනාෂා?

අම්මා කිව්වාම ගෙවල් එහෙම අස්කරලා දානවා‍. ටිකක් ඉතින් කියන්න ඕන.

* ජිවිතයේ වැඩියෙන්ම කාවද විශ්වාස කරන්නේ?

අම්මාව තමයි විශ්වාස කරන්නේ.




* ටනාෂා හතරසිංහ කියන්නේ මොනවාගේ චරිතයක්ද?

නිහතමානී , පවුලේ අයට ගොඩාක් උදව් කරන, තමන් ඉන්න ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන කෙනෙක්.

*  මේතාක් පැමිණ ගමන තුළ ජීවිතයේ ස්තූති කරන්න කවුරුහරි ඉන්නවාද?

මම නිරූපණ ක්ෂේත්‍රයට ඉස්සල්ලාම ආවේ. අම්මාගේ යාළුවෙක් ඉන්නවා නිලුකා කොඩිකර කියලා. එයාගේ සැලොන් එකකට ගියා ‍වෙඩින් එකකට අඳින්න. ඊට පස්සේ ඇය මාව ඇයගේ රූපලාවන්‍ය දැක්මකට අරගෙන ගියා. එතනින් තමයි මං ඉස්සල්ලාම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියේ.  ඊට පස්සේ රොසෑන් ඩයස් මහත්මිය ‍මෝස්තර නිරූපණය ගැන ගොඩාක් දේවල් කියලා දුන්නා. ෂෙල්තනි වැනි අයට මං ගොඩාක් ස්තූති වන්තවෙනවා. ඊට පස්සේ  මගේ පවුලේ අයට ස්තූතිවන්ත වෙනවා.

No comments:

Post a Comment