ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම තවමත් අවිනිශ්චිත බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
පසුගිය බංගලාදේශ සංචාරයේ දී ඩිල්ෂාන්ගේ අතේ ඇඟිල්ලක ඇතිවී තිබෙන ආබාධය තවමත් සියයට සියයක් සුව අතට හැරී නොමැති බවයි සනත් ජයසුරිය අද කොළඹදී මාධ්‍ය වේදීන් අමතමින් පැවසුවේ.
විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ලබන ඉරිදා දින ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.
අවසන් තීරණය
තිලකරත්න ඩිල්ෂාන් ඔවුන් සමග බංගලාදේශයට පිටත්වන බව පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා 19 වනදා පැවැත්වෙන පෙර පුහුණු තරගය වන විට ඩිල්ෂාන් සම්පුර්ණ සුවය නොලැබුවොත් ඒ සඳහා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන බවද පැවසුවේය." සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේදනාවක් සමග මේ ක්‍රීඩාව කරන්න වෙනවා, අපේ පහළොස් දෙනා ගත්තොත් දහ දෙනෙකුට පොඩි පොඩි වේදනා තියෙනවා, ඒවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ, අපි 19 වෙනිදා ඩිල්ෂාන් ගැන අවසන් තීරණය ගන්නවා," තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කළේය.
ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පැමිණීම නිසා ඩිල්ෂාන් වෙනුවෙන් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දක්ෂතා අතර සිටි තුන් ඉරියව්වේ නවක ක්‍රීඩක චතුරංග ද සිල්වා ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකාරයන් පැවසුවත් තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ තවමත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.
තුන් ඉරියව් ක්‍රීඩකයෙක්
" ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම ඉන්නවා, අපිට තවත් ආරම්භක පිතිකරුවෙක් ඕනැද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඕනැද කියල බලන්න ඕනැ,"තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය.මිට අමතරව ආබාධවලට ලක්ව සිටි ක්‍රීඩකයන් වන රංගන හේරත් හා නුවන් කුලසේකර මේ වනවිට සම්පුර්ණ සුවය ලබා සිටින බවත් ඔහු සඳහන් කළේය.
ලබන ඉරිදා බංගලාදේශයට පිටත්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 17 වනදා ඉන්දියාව සමගද 19 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග ද පුහුණු තරගවලටද සහභාගී වීමට නියමිතයයි
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන ප්‍රථම නිල තරඟය ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි.
No comments:
Post a Comment