Sunday, May 11, 2014

ගුරුවරිය දණ ගැස්වූ නඩුවේ තීන්දුව හෙට

Lawපාසල් සිසුවියකගේ ගවුමේ වාටිය ලිහා දැමූ බව කියන ගුරුවරියක්ව ඇය සේවය කළ පාසල තුළදී දණ ගස්සවා අඩම්තේට්ටම් කළ බව කියන වයඹ පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙකුට එරෙහිව විභාග වූ නඩුවේ තීන්දුව සඳුදා (12) පුත්තලම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.  නවගත්තේගම පදිංචිකරුවෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර යන අයට එරෙහිව පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම නඩුව විභාග විය. නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ සේවය කරමින් සිටි සුසිලා ප්‍රියාණි හේරත් මහත්මිය 2013 ජුලි මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම සිද්ධියට මුහුණ දී තිබුණි.
සුසිලා ප්‍රියාණි හේරත් නම්වූ පාසල් ගුරුවරියව ඇය සේවය කළ පාසල තුළදී දණ ගස්සවා අඩම්තේට්ටම් කරන ලදැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අයට එරෙහිව නීතිපති වරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ චෝදනා ගොණු කර තිබුණි.
සිද්ධියට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාව නවගත්තේගම පොලීසියේ නිලධාරීන් විසින් 2013 ජුලි මස 15 වැනිදා ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.එදිනම රාත්‍රීයේ සැකකරුව පුත්තලම දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
අනතුරුව මෙම නඩුව කැදවන ලද්දේ ආණමඩුව සංචාරක දිසා අධිකරණයේදීය.එහිදී ඇප කොන්දේසි මත සැකකරුව මුදා හැරීමට දිසා විනිසුරු රංග දිසානායක මහතා කටයුතු කරන ලදි.
නඩුව නැවත කැදවූ විට අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ සැකකරු ඇප කොන්දේසි කඩ කර ඇති බවයි.පැමිණිල්ලේ නීතිඥයින්ගේ කරුණු දැක්වීම පිලිගත් දිසා විනිසුරුවරයා සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාව නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
ඒ අතර තුර සැකකරුට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ චෝදනා ගොණු කිරීමට නීතිපතිවරයා විසින් කටයුතු කර තිබුණි.ඒ අනුව නඩු විභාගය පුත්තලම මහාධිකරණය හමුවේ විභාගයට ගැණුනි. මෙහිදී විත්තිය වෙනුවෙන් චූදිත ආනන්ද සරත් කුමාර යන අය මෙන්ම ඔහුගේ රියදුරුද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලදි. පැමිණිල්ල වෙනුවෙන් සිද්ධියට මුහුණ දුන් සුසිලා ප්‍රියාණි හේරත් මහත්මියද,නවගත්තේගම පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ද,නවගත්තේගම ප්‍රාදේශීය රෝහලේ ස්ථාන බාර වෛද්‍යවරිය මෙන්ම සිද්ධිය ඇසින් දුටු බව කියන අයෙකුද සාක්ෂි ලබා දුන්නේය. විත්තියේ සහ පැමිණිල්ලේ නීතිඥයින් විසින් ලිඛිත සහ වාචික කරුණු දැක්වීම අනතුරුව සිදු කරන ලදි.
නඩු විභාගය අවසන් කර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 12 වැනිදා දක්වා කල් තබන ලදි.

No comments:

Post a Comment