Monday, April 21, 2014

කැසිනෝ ව්‍යාපෘතියෙන් කෝටි තුන්සියයක පාඩුවක්......

විශේෂ බදු සහන ලබාදෙමින් මහා පරිමාන කැසිනෝ ව්‍යාපෘති දෙකක් හඳුන්වා දීමට මීට මාස කිහිපයකට ඉහතදී ගත් උත්සාහය මහ නායක හිමිවරුන් සහ විපක්ෂයේ විරෝධය මත හකුලාගත් ආණ්ඩුව, කැසිනෝ ව්‍යාපෘතිය යලිත් හඳුන්වා දීමට සැරසෙන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි තුන්සීයක පමණ බදු ආදායමක් අහිමි කෙරෙන කැසිනෝ ව්‍යාපෘතිය සම්බන්ධ ගැසට් තුනක් ඉදිරි සතියේ විවාදයට ගැනීමට නියමිත බවයි, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ

"කැසිනෝ සූදුව යනු ගණිකාව, සුරාව, සූදුව යන සියල්ල ව්‍යාප්ත කරන ව්‍යාපාරයක්. ඒ වගේම කළු සල්ලි සුදු කරන, පාදඩ ආර්ථිකය, අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, දේශපාලන බලය මෙහෙයවන එකක්. සමාජ අපරාධ වර්ධනය කරන ව්‍යාපාරයක්. එය ගමේ බූරුපොළකට එහා ගිය භයානක ප‍්‍රතිඵල අත්කරදෙන ව්‍යාපාරයක්," යනුවෙන් ඔහු කියා සිටියේය.
මහින්ද චින්තන ප්‍රතිපත්තියේ මතට තිත සංකල්පය යටතේ සදාචාරවත් සමාජයක් ගොඩ නැගීමට ප්‍රතිඥා දුන් ආණ්ඩුව 2010 මැතිවරණ ජයග්‍රහණයත් සමඟම ඒ පොරොන්දු බිඳ දැමූ බවටත් විජිත හේරත් මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කරයි.

'ඔළුවෙන් සිටුවීම'

ඔහු එය හැඳින්වූයේ මහින්ද චින්තනය ඔළුවෙන් සිටුවීමක් ලෙසින්.
"බොරු දේශපේ‍්‍රමීන් රට ඉදිරියේ ජනතාවට එකක් කියමින් කැබිනට් එකේදී කැසිනෝවලට අත උස්සනවා. මෙයින් රට අගාධයට යනවා පමණක් නෙවෙයි, ඩොලර් බිලියන 03ක පමණ බදු ආදායමක් රටට අහිමි වෙනවා"
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
"2010 දෙසැම්බර් මාසයේ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පසුව සියලූම කැසිනෝ ශාලා එක් බිම් කොටසකට සීමා කරන්න කියලා ගැසට් එකක් ගෙනාවා. එහි අඩංගු වුණේ කැසිනෝ සූදුව ඩීආර් විජේවර්ධන මාවතට ගේනවා කියලා. ඉන් පසුව ආණ්ඩුව ඩීආර් විජේවර්ධන මාවතින් එහාට ගොස් කැසිනෝ ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට ගැසට් දෙකක් ගෙනාවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සූදු සහ ඔට්ටු ඇල්ලීමට අවසර ලබාදෙන බව එම ගැසට් නිවේදනවල සඳහන් වූ බව පවසන විජිත හේරත් මන්ත්‍රීවරයා, විපක්ෂයේ සහ ආගමික නායකයන් ඇතුළු සමාජයෙන් මතු වූ විරෝධය මැද ආණ්ඩුව එම ගැසට් ඉවත් කර ගත් බව පෙන්වා දෙනවා.
එහෙත් ඉන් මාස කිහිපයකට පසුව ආණ්ඩුව අලුත් ගැසට් තුනක් මගින් කැසිනෝ ශාලා තුනකට අවසර ලබා දී ඇති බව මන්ත්‍රීවරයාගේ චෝදනාවයි.
"ක‍්‍රමෝපාය සංවර්ධන පනතට අනුව ගෙන එන්නේ රටේ ප‍්‍රධාන ආර්ථික ව්‍යාපෘති පමණයි. ඒවා රටේ ආර්ථික මර්මස්ථාන බවට පත්වෙනවා. සියලූ බදු නිදහස හිමිවෙනවා. ආණ්ඩුව දැන් සිදුකර තිබෙන්නේ කැසිනෝ ව්‍යාපෘති ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ වර්ග කිරීමයි. ඒ අනුව කැසිනෝ ව්‍යාපාරය සියලුම බදුවලින් නිදහස් වෙනවා."

ප්‍රතිචාරයක් නෑ

දැවැන්ත කැසිනෝ ශාලා අවුරුදු පහළොවක් තරම් කාලයක් බදුවලින් නිදහස් කරන ආණ්ඩුව ජනතාවගේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් විශාල බදු අය කරමින් සිටින බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
"කැසිනෝ පේ‍්‍රමීන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තමයි මේ ගැසට් තුන ගෙනත් තිබෙන්නේ. බොරු දේශපේ‍්‍රමීන් රට ඉදිරියේ ජනතාවට එකක් කියමින් කැබිනට් එකේදී කැසිනෝවලට අත උස්සනවා. මෙයින් රට අගාධයට යනවා පමණක් නෙවෙයි, ඩොලර් බිලියන 03ක පමණ බදු ආදායමක් රටට අහිමි වෙනවා. “
රහසිගතව කැසිනෝ ඉදිකිරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පළ කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා.
මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස විෂය භාර අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

No comments:

Post a Comment