Saturday, April 26, 2014

නෙදියවන් අල්ලන්න - ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක්


එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන පෙරින්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය පැවැති සමයේ එහි ජාත්‍යන්තර මුල්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනිමට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙරට තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගීමට උත්සහ කරන බවට පෙරින්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන්ට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් දෙමළ ඩයස්පෝරාවට මුදල් එක් රැස් කිරිමේ චෝදනා මත 2011 වසරේ දි ඔස්ලෝ නුවර දී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහු කොන්දේසි සහිතව නිදහස් කෙරුණු අතර ඉන් අනතුරුව නෙදියවන් එරට පොලිසිය වෙත ඉදිරිපත් වී නොමැති බවද වාර්තා වේ.

තවද නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ඉදිරිපත් කරන ලෙසට සිදුකළ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා බලධාරින් සමග සාකච්ඡා කරන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් මෝර්ටන් හොග්ලන්ඩ් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

No comments:

Post a Comment