Thursday, August 20, 2015

Ranil to be sworn in as PM tomorrow

හෙට දිනයේ දිවුරුම්දීමට නියමිත රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජයේ අගමැති තනතුරට සිවුවැනි වරටත්  හෙට දිනයේ දිවුරුම්දීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වන්නේ ලෝක වාර්තාවක් සම කරමිනි.


ලෝක දේශපාලන ඉතිහාසය පිරික්සා බැලීමේ දී සිවුවරක් අගමැති තනතුරේ දිවුරුම් දුන් ප්‍රථමයා බ්‍රිතාන්‍යයේ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් (1809 – 1898) මහතාය.


ලිබරල් පක්ෂය නියෝජනය කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් 1868 වසරේ සිට 1894 වසර දක්වා සිවුවරක් එනම් (1868–74), (1880–85), (1886 පෙබරවාරී සිට ජූලි ) සහ (1892–94) වශයෙන් අගමැති තනතුරට පත්ව ඇත.

මේ අනුව මෙවැනි වාර්තාවක් සම කෙරෙන්නේ වසර 121 ක තරම් දීර්ඝ කාලයකට පසුවය.


නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 වසරේ මාර්තු මස 26 වැනිදා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කළේය.


එම වසරේම පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ඔහු යළිත් අගමැති තනතුරට පත් වූ අතර යළි දිවුරුම් දීමක් සිදු නොවූ බැවින්, 1960 හා 1965 යන වසරවල ද අගමැති තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා සැලකෙන්නේ තුන් වරක් දිවුරුම් දුන් අගමැතිවරයකු ලෙසය.


මේ අනුව හෙට සිවුවැනි වරටත් සිදුවන මේ අගමැති පදවි ප්‍රාප්තිය දකුණු ආසියානු, පමණක් නොව ජගත් දේශපාලන වංශ කතාවේද අතීශය විරල සිදුවීමකි.


2015 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප ඡන්ද 500,566ක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ජනමත විචාරණයකින් ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ද වේ.


රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමන් මගෙන් බිඳක්...

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා 1949 මාර්තු 24 උපත ලැබීය.


කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.


ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ අයෙකු ලෙසද ඒ මහතා සැලකෙයි.


1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්විය.


එවකට ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේද  රනිල් වික්‍රමසිංහ මහතාය.


එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.


කැලණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි ඒ මහතා විවාහ දිවියට එළඹිණ.


1993 වසරේ මැයි පළමුවැනිදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.


එම පත්වීම  1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වා පැවැතිණ.


රනිල් වික්‍රමසිංහ  මහතා දෙවන වරට අගමැති වන්නේ 2001 වසරේදී පැවැති මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය.


එම තනතුර 2001 දෙසැම්බර් 9 වැනිදා සිට 2004 අප්‍රියෙල් 6 දක්වා පැවැතිණ.


රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි වතාවට යළි අගමැති වන්නේ 2015 ජනවාරී 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුවය.


ඉන් අනතුරුව පසුගිය 17 වැනිදා පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද ජයග්‍රහණයත් සමග නැවතත් එනම් සිව්වැනි වතාවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට සුදානමින් සිටී.

No comments:

Post a Comment