Thursday, February 25, 2016

විදුලි සැපයුම ක්‍රම ක්‍රමයෙන් - සියඹලාපිටිය වාර්තාවක් ඉල්ලයි


දිවයිනපුරා අද පස්වරුවේ සිදුවූ හදිසි විදුලිබිඳ වැටීමෙන් පසු මේවන විට ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

තවද සෙසු ප්‍රදේශවලට අද පස්වරු 6 වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරන බවද එම එම මණ්ඩලය පවසයි.

එසේම දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව පොල්පිටියේ සිට කොලොන්නාව දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට බලපෑ අකුණක් විය හැකි බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

මේ අතර අද (25) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මනින් එම පරීක්ෂණ වාර්තාව තමා වෙත ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධ කරුණු විමසීම සඳහා අද ප.ව. 07.00ට විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටු රැස්වීමක් පැවැත්වෙයි.

ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සහ සාමාන්‍යාධිකාරි එම්.සී. වික‍්‍රමසේකර යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිත බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

No comments:

Post a Comment