Tuesday, March 4, 2014

ත‍්‍රස්තවාදය සියලූ ජාතීන්ගේ සාමුහික ආරක්ෂාවට තර්ජනයක්

රජය, උතුර පළාත් සභාව සමග නිරන්තරයෙන් සහයෝගයෙන් ක‍්‍රියා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත අවධාරණය කළා. ඒ, මියන්මාරයේ පැවති බිම්ස්ටෙක් නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදියි. රජය සහ උතුර පළාත් සභාව අතර සහයෝගීතාවය පිළිබඳව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කළ විමසීමේදියි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ. දෙරටේ ධීවරයන්ට අදාළ කරුණු පිළිබඳවද රාජ්‍ය නායකයන් දෙපළ සාකච්ඡා කර තිබෙනවා. ඉන්දීය ධීවර  බෝට්ටු 1500 ක් පමණ දිනපතා ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට යාත‍්‍රා කිරීම සැලකිය යුතු මට්ටමේ ගැටළුවක් බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. එය මෙරට උතුරේ ධීවරයන්ට අහිතකර ලෙස බලපාන බවයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ.

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං දැනුවත් කළා. නේපිටෝ හි මියන්මාර අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ කේන්ද්‍රයේ මෙම සාකච්ඡාවේ පැවති බවයි ජනාධිපති ප‍්‍රකාශක සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මෙම සාකච්ඡුාවට ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මෙන්ම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද එක්ව සිටියා.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිතව තිබියදී ඉන්දු - ශී‍්‍ර ලංකා නායකයින් හමුවීම තුළින් දෙමළ ජනතාව නොසලකා හැරීමක් සිදුවන බව ඉන්දීය ඞී.එම්.කේ. පක්ෂය ඇතුළු තමිල්නාඩු දේශපාලනඥයින් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. එහෙත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තමිල්නාඩු දේශපාලන පක්ෂ කරන එම ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ.

මේ අතර ත‍්‍රස්තවාදය මෙරට තුළ තවදුරටත් නොපැවතියද, එහි විරූපි හිස එසවීම යලි සිදු නොවන බවට සහතික කරගැනීම අවශ්‍ය වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ප‍්‍රකාශ කළේ මියන්මාරයේ න අගනුවර පැවැති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින්. ත‍්‍රස්තවාදී සංවිධානවල ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් ඵ්වා පිළිබඳව නිරන්තර බාහිර සුපරීක්ෂාව අවශ්‍යයි. ලොව කොතැනක, කවර ආකාරයකින්, කවර මුහුණුවරකින් පැවතියද ත‍්‍රස්තවාදය සියලූ ජාතීන්ගේ සාමුහික ආරක්ෂාවට තර්ජනයක් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ . දශක 03 කට ආසන්න කාලයක් ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස ශී‍්‍ර ලංකාවට ඉන් සිදුවූ මිනිස් හා ආර්ථික හානිය පිළිබඳව තියුණු අවබෝධයක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම කාලයේදී රටේ ආර්ථිකය හොඳ මට්ටමකට ළඟා කර ගැනීමට නොහැකි වූ බවද එහිදී කියා සිටියා.

No comments:

Post a Comment