Monday, April 28, 2014

අනාගත ලෝකයේ බිහිවන නැමිය හැකි ජංගම දුරකථන

ජංගම දුරකථන පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ වැඩි වශයෙන්ම කතාබහ කෙරෙන්නේ “ස්මාර්ට් ෆෝන්” නමින් හඳුන්වන්නා වූ දුරකථන මාදිලිය පිළිබඳවය. ඇන්ඩේ‍රායිඩ්, ඇපල් හෝ වින්ඩොස් යන මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාත්මක වන මේවා ස්පර්ශක තිර සමගින් පැමිණෙන අතර, ඉහළ
තාක්ෂණයෙන් යුක්තය. එමෙන්ම මිල ද සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමට පවතී.
තාක්ෂණයෙන් ඉහළ මට්ටමක පැවැතියද ශක්තිමත් බව පිළිබඳ සලකා බැලීමේදී මිලෙන් අඩු දුරකථනයකට වඩා වෙනසක් නැති තරම්ය. ඇතැම් ඒවායේ ස්පර්ශක තිරය යම් ශක්ති සම්පන්න තත්ත්වයකින් නිෂ්පාදනය කෙරුණද යම් හෙයකින් බිමපතිත වුවහොත් මෙවැනි දුරකථන පවා කැඩී බිඳී යන්නට පුළුවන. මේ පිළිබඳව කල්පනා කළ ජංගම දුරකථන සමාගම් කැඩී බිඳී නොයන ආකාරයේ ජංගම දුරකථන නිපදවන්නට කල්පනා කළහ.
කැඩී බිඳී නොයන සුළු, රබර් වැනි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන බිහිකරන්නට ඕස්ට්‍රේලියාවේ සමාගමක් පර්යේෂණ පවත්වමින් සිටිනා අතර, නුදුරු අනාගතයේ එම සිහිනය සැබෑවන ලකුණු පහළ වී තිබේ. රාජකීය මෙල්බෝන් තාක්ෂණික ආයතනය  දෘඩ සිලිකන් පරිපථ නම්‍යශීලී මතුපිටකට ගැනීම සම්බන්ධව කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.
සාමාන්‍යයෙන් කුඩාවට තැනූ ඉලෙක්ටේ‍රානික උපාංගවල සංවේදනය, ශක්තිය, නිපදවීම ආදිය පාලනය කෙරෙන්නේ ඉතා කුඩාවට තැනූ විනිවිද පෙනෙන සුළු ඔක්සයිඩ් පථ ඔස්සේය. මේවා කෙතරම් කුඩාවට තනා ඇතිදැයි කිවහොත් ඒවා මිනිස් කෙස් ගසකින් සියයකින් පංගුවක් තරම් වේ. එතරම් කුඩා බැවින් ඒවා හඳුන්වනු ලබන්නේ “නැනෝ ස්ථර” යනුවෙනි.
මෙවැනි කුඩා ඉලෙක්ටේ‍රානික පථ ඒවායෙන් නිපදවන උෂ්ණත්වය නිසා ඉතා ඉක්මණින් බිඳීයන ස්වභාවයකට පත්වේ. මෙම උෂ්ණත්වය
ඇතැම් අවස්ථාවලදී සෙල්සියස් අංශක 300ක් පමණ වන අවස්ථාද තිබේ. එබැවින් ඒවා නම්‍යශීලී මතුපිටකට ගැනීමේ හැකියාවක් තිබුණේ නැත.
මෙම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ෆිලිප් පවසන්නේ මෙවැනි පරිපථ නම්‍යශීලී මතුපිටක් මතට ගැනීමේ තාක්ෂණයක් නිපදවන්නට හැකි වූ බවය.
“මෙම තාක්ෂණය හඳුන්වන්නේ ක්ෂුද්‍ර භූකාරක ඵලය නමින්. මෙහිදී සිදුවන්නේ පෘථිවියේ භූතැටි පිහිටා ඇති ආකාරයට ඔක්සයිඩ් පරිපථ සහිත ස්ථර එක පිට එක තැබිමයි. එවිට ඒවා මත ඇතිවන පීඩනය දරාගන්නට හැකිවන අතර, සන්නයනතාවයද පවත්වාගත හැකියි. ෆිලිෆ් පවසයි.
මෙම ක්‍රමය නිසා නැවෙන සුළු මතුපිටක් ඔක්සයිඩ් පරිපථ තැන්පත් කරන්නට මතෛක් තිබූ බාධකය ඉවත්ව ගොස් තිබේ. එබැවින් අනාගතයේදී නවන්නට හැකි විවිධ ඉලෙක්ටේ‍රානික උපාංග ලොවට ඉදිරිපත් කරන්නට
නිෂ්පාදකයන්ට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම පර්යේෂණ කණ්ඩායමේ සිටින ඉන්දීය ජාතික පර්යේෂිකාවක වන ආචාර්ය මධු භාෂ්කරන් පවසන්නේ මෙම කටයුත්ත සඳහා නව ද්‍රව්‍යයන් දෙකක් යොදාගත් බවය. ඒවා නම් විනිවිද පෙනෙන සුළු සන්නායක ද්‍රව්‍යයක් වන ඉන්ඩියම් ටින් ඔක්සයිඩ් සහ රබර් වැනි සිලිකන් වර්ගයකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක

No comments:

Post a Comment