සෑම වසරකම මැයි මස 1 දා සැලකෙන්නේ ලොව පුරා
විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරු ජනතාවගේ දිනය වශයෙනි. එම දිනය ඉමහත්
හරසරින් යුතුව සැමරීමට ලෝකයේ වැඩ කරන ජනතාව පෙළඹී සිටියේ 1886 වසරෙ සිටය.
විශේෂයෙන්ම ඒ සඳහා මුල් වූයේ 1886 මැයි මස 1 දා ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ
පැවැති කම්කරු රැලියකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයක් හා එහි ප්‍රතිඵලයක්
වශයෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන රැල්ලකි.
1886
මැයි මස 1 දා සිට 4 දා දක්වා සිදුවූ එම විරෝධතාවලට පොලීසිය වෙඩි තැබිම
නිසා චිකාගෝව ලෙයින් හා දුමින් පිරුණු යුද පිටියක් බවට පත් වූ අතර එම
සිද්ධිය පිළිබඳව පැවැති අතිශය පක්ෂපාතී නඩු විභාගයේදී කම්කරු නායකයන්
පිරිසකගේ ජීවිතද පෝරකයෙන් කෙළවර විය.එසේ
වුවද සෑම කළුවලාවකම රිදී රේඛාවක් ඇතැයි යන ඉපැරණි කියමන තහවුරු කරමින්
එතෙක් ඇමෙරිකාව පුරා විසිරී සිටි කම්කරු ජනතාවට දිනයකට පැය 8ක වැඩමුරයක්
ඇතුළු තවත් කම්කරු හිමිකම් කීපයක් හිමිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය එකල
ඇමෙරිකාව පුරා විසිරී සිටි ලක්ෂ සංඛ්‍යාත කම්කරු ජනතාවට ඉමහත් සහනයක් වූයේ
ඒ වනතුරුම ඔවුන්ට දිනකට පැය 15 ක් හෝ 16ක් සමග එක දිගට වැඩ කිරීමට සිදුවූ
බැවිනි.
එතැන් පටන් ලෝකයේ විවිධ
රටවල විසූ කම්කරු ජනතාව විසින් ඉමහත් හරසරින් සමරනු ලැබූ සෑම මැයි දින
රැලියක්ම රතු පැහැති ධජ පතාකවලින් සරසන ලැබුවේද 1886 මැයි 1 දා චිකාගෝ හි
පවත්වන ලද මැයි දින රැලියට සහභාගි වූ කම්කරුවන්ගේ සිරුරුවලින් ගලාගිය අමු
ලේ ධාරාවන් සිහිපත් කිරීමේ අදහසිනි. ඒ අනුව අද ලෝකයේ කුමන රටක පවත්වන ලබන
මැයි දින රැලියක් වුවවද එහි ලෙලදෙන රතු පැහැති ධජ පතාකවලින් සංකේතවත්
කෙරෙන්නේ මනුෂ්‍ය රුධිරය, දාඩිය හා කඳුළුය.
එසේම
ලෝකයේ සෑම රටකම පාහේ මුල් කාලයේ පැවැති මැයි දින රැලිවල ප්‍රමුඛ ස්ථානය
ගන්නා ලද්දේද ඒ ඒ රටවල වැඩ කරන ජනතාවය. එදා එවැනි දැවැන්ත මැයි රැලිවලට
සහභාගි වූ කම්කරු ජනතාව ඉමහත් සටන්කාමී සහ පේරෟඪ බවකින් යුතුව තමන්
දිනාගන්නා ලද හා අතීතයේ විසූ කම්කරු නායකයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන්
යුතුව දිනා දෙන ලද කම්කරු අයිතිවාසිකම් සැමරීමට උනන්දු වූ බව නොරහසකි.
විශේෂයෙන්ම එම රටවල් කම්කරු ජනතාවගේ එක්සත් බව ඔවුන්ගේ මැයි රැලිවලින් මනාව
පිළිබිඹු විය.
එහෙත් ශ්‍රී
ලංකාවේ මෑත කාලයක සිට පැවැත්වෙන මැයි රැලිවල ඊට ඉඳුරාම වෙනස් තත්ත්වයක්
දකින්නට ලැබේ. එයින් ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන්නේ මෙරට කම්කරු ජනතාව
විවිධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලට කැඩී බිඳී ගොස් කුඩා කණ්ඩායම්
වශයෙන් මැයි රැලි පැවැත්වීමේ ප්‍රවණතාවක් ඇති බවයි.
ඔවුන්
විසින් පවත්වන ලබන පෙළපාලි සහ දේශනවල යම් සටන්කාමී බවක් පෙනෙන්නට තිබුණද
තම තමන්ගේ දේශපාලන මතවාදවලට අනුව පවතින ආණ්ඩුවලට බැණ වදිමින් විවේචනය කරනවා
හැරෙන්නට වෙනත් හරවත් දෙයක් ඉදිරිපත් වන බව නොපෙනේ.
එසේ
වුවද මෙරට ප්‍රධාන ධාරාවට අයත් දේශපාලන පක්ෂ මගින් පවත්වනු ලබන මැයි දින
රැලි සඳහා අති විශාල ජනකායක් සහභාගි වන බවක් දකින්නට ලැබෙන බවද ප්‍රකට
කරුණකි. එහෙත් ඒවාට සහභාගි වන වැඩි දෙනෙකු එම පක්ෂවල සාමාජිකයන් විනා වැඩ
කරන පන්තියේ ජනතාවදැයි යන්න සැක සහිතය.
අනෙක්
අතට එවැනි දේශපාලන පක්ෂ මගින් පවත්වනු ලබන මැයි දින රැලිවලට ජනතාව කැඳවා
ගෙන එන්නේද ඔවුන්ට විවිධ ප්‍රතිලාභ සැපයීමෙනි. එක්කෝ ඔවුන් ආණ්ඩුවෙන්
රැකියා ලබාගත් ක්‍රියාකාරී සාමාජිකයන්ය. එසේත් නැතහොත් ආණ්ඩුවෙන් අද හෙටම
රැකියා ලාභයක් බලාපෙරොත්තුවෙන් සිටින තරුණ පිරිසය. ඒ අතර කෑම බිම සහ යම්
මුදලක් ලබාදී එක් එක් පක්ෂවලින් පවත්වනු ලබන මැයි රැලිවලට කැඳවා ගන්නා
පුද්ගලයන් ගැනද නොයෙක් විට අසන්නට ලැබේ.
ඔවුන්
සතු ප්‍රධාන කාර්ය වන්නේ තම තමන්ගේ මන්ත්‍රීවරුන් හෝ ප්‍රාදේශීය
දේශපාලනඥයන් විසින් කල්තියා ලබාදෙන සටන්පාඨ හඬ නගා කියමින්. පෙළපාලියේ ගමන්
කිරීමය. එසේත් නැතහොත් මැයි දින වේදිකාවේ සිට බෙරිහන් දෙන පක්ෂයේ ප්‍රධාන
කථිකයන්ගේ උද්වේගකරවත් ප්‍රකාශ අසා හුරේ දමමින් අත්‍පොළසන් දීමය.
ඔවුන්
සඳහා ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේද අදාළ පක්ෂයේ ප්‍රාදේශීය
සංවිධායකවරුන් විසිනි. නැතහොත් දිගින් දිගටම පාඩු පිට පවත්වාගෙන යන ශ්‍රී
ලංගමය මගිනි.
මෙකල පැවැත්වෙන
මෙවැනි වැඩකරන ජනතාවගෙන් තොර දේශපාලනීයකරණය වූ ඊනියා මැයි දින රැලිවලට
සහභාගිවන පිරිස් තුළ මැයි දිනය ගැන හෝ කම්කරු අයිතිවාසිකම් ගැන හෝ හැඟීමක්
ඇද්දැයි යන්න සැක සහිතය. එලෙස දේශපාලනීකරණය වූ මැයි දින රැලියකින් මෙරට
කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාවට යම් සෙතක් සිදුවන්නේදැයි යන්න සැක සහිතය. ඒ
ගැන දැන්වත් පුළුල් වශයෙන් සිතා බැලිය යුතු කාලය එළඹී තිබේ.
No comments:
Post a Comment