Tuesday, May 6, 2014

ගෙදරට ලැදි බකමූණු පැංචා

ටේ‍ර විට්ලි‘ බකමූණු    පදනම ලෙස හැඳින්වෙන බකමූණන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෘත්තියෙන් ගොවියෙකු වන මිඩ්ල්ටන්ට ‘බර්ටි’ හමුවී ඇත්තේ, කිසිවෙකුගේත් හව්හරණක් නොමැතිව බිම වැටී සිටියදීය. මඩ තැවරී, තෙතබරිතවී සිටි කුඩා බකමූණු පැටවාගේ පාදයද ආසාදනයට ලක්ව තිබූ අතර දෙමසක කාලයක් ඔහුට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුව තිබිණි. ටෙනිස් බෝලයක් ප්‍රමාණයේ වූ බර්ටිට පසුව මිඩ්ල්ටන්ගේ බකමූණු සංරක්ෂණ
පදනමේ සිටින එලෙස ගලවා ගනු ලැබූ සෙසු බකමූණු මිතුරන්ගේ ඇසුරට පත් කළද, ඊට ප්‍රිය නොකළ බර්ටිව තමා සමීපයේම තබා ගැනීමට මිඩ්ල්ටන්ට සිදුව තිබිණි. නිවසට එන අමුත්තන්
පිළිබඳව මිඩ්ල්ටන්ට දක්වන්නේද මිත්‍රශීලී ලෙස නාද කරමින් ඔහුට පෙර ඔවුන්ව පිළිගන්නේද බර්ටිය. මුරබල්ලෙකුගේ සේවය එයාකාරයෙන්ම ලබාදීමට බර්ටි දක්ෂ බව මිඩ්ල්ටන්ගේ අදහසයි.
තමන් වෙනුවෙන්ම පිළියෙළ විශේෂිත දිය බඳුනක ස්නානය කිරීම බර්ටිගේ ෙදෙනික ජීවිතයේ අනිවාර්ය අංගයකි. ඉන්පසුව බිම අතුරන ලද මෙට්ටයක් මතට වී සිය පිහාටු මැනවින් පිසදා පීරාගන්නා බර්ටිගේ ප්‍රියතම ආහාර වන්නේ මීයන් හා දිනක් වයසැති කුකුළු පැටවුන්ය. සෙසු බකමූණන් සමග වැඩි කුළුපගකම් දැක්වීමට නොයන බර්ටිගේ හොඳම මිතුරා පීටර් මිඩ්ල්ටන්ය. ඔහු කාර්යාලයේ වැඩ කරන විට ඔහු අසල හිඳිමින්, කඩදාසි කැබලි කිරීමටත්, ඔහුගේ උරහිස මතට වී හිඳීමත් බර්ටිගේ ප්‍රියතම අත්දැකීමකි. දැනට තෙහැවිරිදි වියේ පසුවන බර්ටි තවත් අවුරුදු පහළොවක කාලයක් හෝ ජීවත් වනු දැකීම මිඩ්ල්ටන්ගේ අපේක්ෂාවයි. ඉතාම සුරතල්, සෞම්‍ය ගති ලක්ෂණවලින් යුතු බර්ටි සමග බිලිඳෙකු හෝ තනිකොට දමා යා හැකි බව විශ්වාසයෙන් යුතුව පවසන මිඩ්ල්ටන් බර්ටි වැනි මෘදු ගතිගුණවලින් යුතු අපූරු සුරතලෙකු තමාට ලැබිම සලකනු ලබන්නේ වරප්‍රසාදයක් ලෙසයි. මන්ද බර්ටි යනු සාමාන්‍යයෙන් කෙනෙකුට ලැබිය නොහැකි අන්දමේ එතරම්ම සුවිශේෂී පක්ෂියෙකු වන නිසාය.

No comments:

Post a Comment