Friday, April 25, 2014

යුද සමයේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවු රටවල් අතර ශ්‍රී ලංකාවත්

යුද සමයේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවු රටවල් අතර ශ්‍රී ලංකාවත් යුද ගැටුම් පැවති සමයේ දී ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවු රටවල් 21 අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් ඊයේ(24) දිනයේ නිකුත් කළ නවතම වාර්තාවක මේ පිළිබඳ ඇතුළත් වෙයි.

යුද ගැටුම් පවතින කාලසීමා තුළ සිදුවන දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ගෝලීය වශයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර එය කලාපීය වශයෙන් හා ජාතික වශයෙන් ද ක්‍රියාත්මක විය යුතු බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.

අදාළ වාර්තාව යුරෝපය, ආසියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ මැදපෙරදිග රටවල් 21 ක් ආවරණය කරමින් ඉදිරිපත් කර තිබේ.

යුද ගැටුම් පවතින කාලසීමා තුළ සිදුවන දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සයිනැබ් හවාබංගුරා මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ යුද ගැටුම් පවතින කාලසීමාව තුළ දී සිදුවන මෙවැනි ක්‍රියා ගෝලීය අපරාධ ලෙස සැලකිය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ද යුද්ධය පැවති අවසන් භාගයේ දී සිදුව ඇති බව කියන ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියෝජිත පාලිත කොහොන මහතා සමඟ සාකච්ඡා කළ බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙවැනි තත්ත්වයන් පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙකු පත් කරන ලෙස ද සයිනැබ් හවාබංගුරා මහත්මිය ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment