Monday, April 21, 2014

‘කොටි සෙවණැලි ගැන වගකීම ආණ්ඩුවට’ - ෆොන්සේකා

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි මතු වන්නේනම් එහි සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා රජය විසින් භාර ගත යුතුව ඇතැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
ඔහු එම අදහස් පළ කළේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
 එල්.ටී.ටී.ඊ සංවිධානයේ සෙවණැලි ආරක්ෂා කරමින්, ඔවුන් සමඟ එක් ව සොර ජාවාරම් කරන අතරම, එම සංවිධානය විසින් සොරකම් කරන ලද රත්‍රන් ආණ්ඩුව ලැජ්ජාවකින් තොරව බෙදා හදා ගන්නා බවයි’ හිටපු හමුදාපතිවරයා කියා සිටින්නේ.
“කරුණා, පිල්ලෙයාන් සහ කේ.පී වැනි කොටි නායකයන් සුරතල් කරමින්, ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරු ලබා දෙමින්, ආරක්ෂාව සලසමින් ක්‍රියා කරන ආණ්ඩුවකට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සෙවණැලි යළි මතු වෙමින් පවතින බවක් ජනතාවට කියා සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ” ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි.

පුනරුත්ථාපනය කළේ නැහැ

කොටි සංවිධානය යළි මතු වෙමින් පවතින බවයි,ආණ්ඩුව පවසන්නේ.
වෘත්තීය කුසලතා සහිත පුද්ගලයන් යටතේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමට ආණ්ඩුව කටයුතු නො කළ බව කියා සිටි සරත් ෆොන්සේකා, එම කාර්යය සඳහා පිටරටවලින් ලද මුදල් වංචා කෙරුණ බවයි පවසන්නේ.
කැරලිකරුවන් යළි සංවිධානගත වන බවට ආණ්ඩුව කරන ප්‍රකාශන බිය ඇති කිරීමේ මවා පෑමක් වන බවට දෙමළ ජාතික සන්ධානය කරන ප්‍රකාශන ගැන ඔහුගේ මතය විමසූ විට හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, එවැනි සැකයක් ඇති කර ගැනීම සඳහා ජනතාවට සාධාරණ හේතු පවතින බවයි.
ඇතැම් බලධාරීන් එක්තරා ‘සේනාවක්’ යොදා ගනිමින් ජාතිවාදය සහ ආගම් වාදය ඇවිස්සීමට යත්න දරන අතර, එවැනි හැසිරීම් මගින් ද පෙනී යන්නේ ආණ්ඩුව ඉහත කී අකාරයේ බිය ජනක මානසිකත්වයක් ඇති කිරීමට කටයුතු කරන බව වන බව යයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment