ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට අදාළ අන්තර්ජාල වෙබ් අඩවි
රාශියක් පවතින අතර ඒවායේ අන්තර්ගත ඡායාරූප සහ තොරතුරු වෙනත් අය විසින්
උපුටා පළ කරනු ලැබීම සම්බන්ධයෙන් තමන් කලබල නොවන බව බ්‍රිගේඩියර් රුවන්
වනිගසූරිය කියා සිටියි.
බ්‍රිතාන්‍ය දෙමළ සංගමය (BTU) ශ්‍රී ලංකා ආරක්ෂක
අංශවල සාමාජිකයන්ගේ නිල සහ පෞද්ගලික තොරතුරු එම සංගමයේ අන්තර්ජාල වෙබ්
අඩවියෙහි පළ කරනු ලැබීම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ආණ්ඩුවේ
ස්ථාවරය ප්‍රකාශයට පත් කරමිනුයි, යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන්
වනිගසූරිය එම ප්‍රකාශය කළේප්රසිද්ධිය හොඳයි
බ්‍රිතාන්‍ය දෙමළ සංගමය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ තොරතුරු ඉහත කී ආකාරයට පල කරනු ලැබීම, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පසුගිය දා දෙමළ සංවිධාන කීපයක් තහනම් කරනු ලැබීමට ප්‍රතිචාරයක් වශයෙන් සිදු කරනු ලැබ ඇතැයි තමන් සලකන නමුත්, එය ආරක්ෂක නිලධාරීන්ට දුන් ප්‍රසිද්ධියක් ලෙස සලකන බවයි, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය වැඩි දුරටත් සඳහන් කළේ.
“අපි අපේ වෙබ් අඩවි වල තොරතුරු පළ කරන්නේ ප්‍රසිද්ධිය සඳහා. ඉතින් ඒවා යළිත් පළ කරමින් අපට වැඩිපුර ප්‍රසිද්ධියක් ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා.” යුද හමුදා ප්‍රකාශකයා කියා සිටියි.
BTU ප්‍රතිචාරය
එවැනි පියවරක් ගනු ලැබීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දෙමළ සංගමයෙන් බීබීසී දෙමළ සේවය විමසීමක් කළ අවස්ථාවේ එහි සාමාජිකයකු වන ආලියන් කියා සිටියේ,ශ්‍රී ලංකාවේ යුද නිලධාරීන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට එම පියවර ගත් බවයි.
“යුද අපරාධ සිදු කර ඇති නිලධාරීන් පිළිබඳව අපට සාක්ෂි තියෙනවා. ඒවා ගොනු කළ විගස අපි ඒවාත් ජනතාවට හෙළි කරනවා” ආලියන් ප්‍රකාශ කළේය.
හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ද ඡායාරූපවෙබ් අඩවියට එක් කිරීමේ අරමුණ පිළිබඳව විමසු විට ආලියන් කියා සිටියේ, යුද්ධයට හවුල් වූ හමුදා භටයන් සිදු කළ ක්‍රියාවන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැන සිටි බවයි.
විශ්ලේෂක මතය
බ්‍රිතාන්‍ය දෙමළ සංගමය විසින් ශ්‍රී ලංකා යුද නිලධාරීන් ගේ තොරතුරු උපුටා ගනිමින් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කරනු ලැබීම තවත් ක්‍රියා දාමයක ආරම්භයක් පෙන්නුම් කරන්නේ යයි ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ආරක්ෂක තොරතුරු විශ්ලේෂක රංග ජයසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.“මේ ක්‍රියාව අපි තක්සේරු කළ යුත්තේ එය සිදු කෙරුණ වටපිටාවත් සමඟයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ගැන අවධානය යොමු කරමින් තිබියදීයි එය සිදු වුණේ” රංග ජයසූරිය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ යුද හමුදා සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙවැනි ප්රවෘත්ති පළ වීම එම නිලධාරීන් ජාත්‍යන්තර මට්ටමින් දුෂ්කර තත්වයට පත් වීමට හේතු විය හැකි බවත් රංග ජයසූරිය කියා සිටියි.
No comments:
Post a Comment