දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර ඇති
වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන
බව ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ විධායක කමිටු සාමාජික ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ තම ඉල්ලීම සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
ප්‍රවාහන අමාත්‍යංශයේ අධීක්ෂණ නිලධාරී තනතුරකට පත් කෙරුණු තම සංගමයේ සභාපති අයි.එල්.කේ දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා තීරණය කිරීමත් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ සිට දුම්රිය රියදුරන් වර්ජනය ආරම්භ කළේය.
දුම්රිය වර්ජනයට පිළියම් ලෙස විශ්‍රාමික දුම්රිය රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සේවයේ යෙදවීමට ඊයේ දිනයේ දී දුම්රිය පාලනාධිකාරිය තීරණය කළේය.
කෙසේ වෙතත් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව පාලක මැදිරිය පවසයි.
අද පෙරවරු 6.10ට මඩකළපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියත් පෙරවරු 6.30ට මාතර බලා ධාවනය වීමට නියමිත දුම්රියත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.
එසේම පෙරවරු 7ට මහනුවර බලා ධාවනය වීමට නගරාන්තර දුම්රිය, පෙරවරු 8.30ට ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය මෙන්ම පෙරවරු 6.50ට කිලිනොච්චිය බලා ධාවනය වීමට නියමිත නගරාන්තර දුම්රිය ද සුපුරුදු පරිදි ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව එම පාලක මැදිරිය පවසයි.
රියදුරන් සේවයට වාර්තා කිරීම සලකා බැලීමෙන් අනතුරුව දහවල් ධාවනය කෙරෙන දුම්රිය පිළිබඳ තීරණය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.
No comments:
Post a Comment