Friday, February 14, 2014

දුම්රිය රියදුරු වර්ජන අඛන්ඩව.......



UPDATE : Friday, 14 February 2014 - 9.00AM------------------------------------------------------


ප‍්‍රවාහන අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරක් දැරූ දුම්රිය රියදුරු සංගමයේ සභාපති අයි.එල්.කේ. දිසානායක එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් මේ වනවිට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වනවා. කෙසේ වෙතත්, ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප‍්‍රකාශ කළේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි.

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරක් දැරූ දුම්රිය රියදුරු සංගමයේ සභාපතිවරයා ඉවත් කරන්නැයි දුම්රිය වෘත්තීය සමිති 26 ක් ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සහ ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අතර විශේෂ සාකච්ඡුාවක්ද අද (13) පැවති අතර, එහිදී දුම්රිය රියදුරු සංගමයේ සභාපතිවරයා අදාළ තනතුරෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා එකඟත්වය පළ කළා. මෙම තීරණයට විරෝධය පළ කරමිනුයි දුම්රිය රියදුරු සංගමය අද පස්වරුවේ සිට මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ.

මෙම වර්ජනය අසාධාරණ බව දුම්රිය සේවා වෘත්තීය සමිති සාමුහික සන්ධානය ප‍්‍රකාශ කළා.

තමන්ට පැවරී ඇති බලතලවලට අනුව දුම්රිය රියදුරු සංගමයේ සභාපතිවරයා ප‍්‍රවාහන අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරෙන් ඉවත් කළ බවයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙම වර්ජනය හේතුවෙන් අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 05 ක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. එහෙත් රාජකාරී දුම්රියන් නියමිත පරිදි ධාවනය කිරීමට හැකිවු බවයි එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

No comments:

Post a Comment